රනිල් කියන්නේ වීරයෙක් නොව ත්‍රාඩයෙක්

0
27

නදහස් ශ්‍රී ලංකාවේ ජනතා නැඟිටීමකින් රාජ්‍ය නායකයන් පලවා හැරි පළමු අවස්ථාව මෙය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර   දිසානායක  පැවැසීය.

රනිල් වික්‍රමසිංහ  “ගනු කඩුව – එනු සටනට” මෙන් අද  වීරයාගේ චරිතයට පණ පොවන්න හදන බවද දිසානායක මහතා කීය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ‍යනු වීරයෙක් නොව ත්‍රාඩයෙක් බවටද ඔහු චෝදනා කළේය. විකෘති පාලනයෙන් ජනතා පාලනයකට සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයේදී ඔහු මේ බව පැවැසීය. මෙම සම්මන්ත්‍රණය පෙරේදා (24දා) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිසානායක මහතා වැඩිදුරටත් පළ කළ අදහස් මෙසේය.

“පසුගිය වර්ෂයක පමණ කාලයක් මුළුල්ලේ රටපුරා විශාල උද්ඝෝෂණ පැන නැඟෙමින් තිබුණා. ගොවි උද්ඝෝෂණවලට ලක්ෂ 14ක් පමණ වන ගොවි පවුල්වලින් සියලුදෙනාම පාහේ සහභාගි වුණා. දෙලක්ෂ විසිදහසක් පමණ ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු විට තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට නොබැස්ස කෙනකු නැති තරම්. ඒ වගේම පසුගිය අරගලවලදී අපේ රටේ කලාකරුවන්, සාහිත්‍යධරයන් විශාල පිරිසක් පාරට බැස්සා. ලංකාවේ පළමු වතාවට ශක්තිමත්ම වෘත්තීය සමිති සන්ධානය ගොඩනඟලා දින දෙකතුනක වැඩවර්ජනයක් සහ හර්තාල් ව්‍යාපාරයක් ගෙන ගියා. පූජක පක්ෂය, වෘත්තීයවේදීන් ඇතුළු සියලු පොදු ජනතාව දැවැන්ත නැඟිටීමකට එකතු වුණා. පාරට ඇවිත් අරගලයකට සම්බන්ධ වේ යැයි නොසිතූ පිරිස් පාරට ආවා. පසුගිය ජූලි 09 වැනිදා රට පුරා පාරට බැස්ස ප්‍රමාණය ලක්ෂ 30 ඉක්මවනවා කියලා සමහර බුද්ධි අංශ වාර්තාවල සඳහන් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ජනතා නැඟිටීමක් මඟින් රාජ්‍ය නායකයන් පලවා හැරි පළමු අවස්ථාව මේකයි. පාරට බැහැලා, වීදි ආක්‍රමණය කරලා, මාලිගා ආක්‍රමණය කරලා, රාජ්‍ය නායකයා පලවා හැරියා.

මේක හුදු අහම්බ නැඟිටීමක් නොවෙයි. මේ පාලක කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාව විශාල පීඩාවකට පත්කර තිබුණා. ජනතාවගේ වටිනාකම් සහිත සියල්ල විනාශ කරමින් තිබුණා. නීතිය විනාශ කරමින් ක්‍රියා කළ අතර කෝටි ගණන් වංචා කළ පිරිස් සිනහමුසු මුහුණින් අධිකරණයෙන් එළියට එන හැටි ජනතාව කෝපයෙන් සහ වේදනාවෙන් බලාගෙන සිටියා. බහුතර ජනතාවක් හැම අතින්ම විශාල පීඩාවකට පත්ව සිටියෙදී ජනතාවගේ මුදල් කොල්ලකා ගත් ඉතා කුඩා කණ්ඩායමක් ජනතාවගේ ධනය පොදි බැඳගත් ආකාරය ඔවුන් කෝපයෙන් සහ කනස්සල්ලෙන් බලාගෙන සිටියා.

ජනතාව තුළ තැන තැන පැන නැඟෙමින් තිබූ කෝපය එක පෙරමුණකට ඇවිත් රාජපක්ෂ පවුල් පාලනය පලවා හැරීම දක්වා ගමන් කළා. ඒක ආශ්වාදයක්. කොයි ඒකාධිපතියාටත් අමතක නොවන පාඩමක් මේ රටේ ජනතාව උගන්වා තිබෙනවා. වෙනදා නිවට නියාලුව සිටි ජනතාව තමන් සතුව තිබෙන ශක්‍යතාවන්, තේරුම් නොගත් සැඟවුණු බලය යොදවා පාරට ආවා. මහා දැවැන්ත යැයි කියූ පාලකයන් පලවා හැරියා.

ව්‍යවස්ථාව ඇතුළේ, හමුදාව සහ නවීන අවි ආයුධ ඇතුළේ තිබෙන බලය ඉක්මවා ගිය බලය යනු ජනතාවයි යන්න තහවුරු කර තිබෙනවා. ජනතා බලය අවදි කරන ඕනෑම මොහොතක ඕනෑම බලකඳවුරක් සමඟ හැප්පී සුනු විසුනු කළ හැකි බව ඔප්පු කර තිබෙනවා. නැඟිටීමේ ප්‍රකාශිත සටන් පාඨ ගෝඨාභය ගෙදර යන්න, රාජපක්ෂලා ගෙදර යන්න කියන සංකේතයයි. නමුත් සටනේ අඩංගුව ගෝඨා ගෙදර යැවීම පමණක්ම නොවේ. ඒ තුළ විශාල හරයක් ගැබ්වී තිබුණා.

අපේ රටේ රාජ්‍යය සතු ආයතනවල සියලු බලයන් දේශපාලනය තුළ කිඳා බස්වා විනාශ කළේ රාජපක්ෂලා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතා වැදගත් සංශෝධනයක්. 2005 බලයට පත්වුණු මහින්ද රාජපක්ෂට මේ ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්න පාර්ලිමේන්තු බලයක් තිබුණේ නැහැ. නමුත් රාජ්‍ය සේවා කොමිෂම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් නොකර අක්‍රිය වීමට ඉඩ හැරියා. මැතිවරණ කොමසාරිස්වරයාට විශ්‍රාම යෑමට පවා නොහැකි ලෙස මැතිවරණ කොමිසම හකුළුවා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ කීවේ “මාගේ නියෝග චක්‍රලේඛ වන්නේය” කියලයි.

18 වැනි සංශෝධනය ගෙනත් ඒකාධිපති බලතල පවරා ගත්තා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ ප්‍රජාතාන්ත්‍රීකරණය පිළිබඳ වැදගත් අවස්ථාවක්. නමුත් රාජපක්ෂලාට වුවමනා වන්නේ ව්‍යවස්ථා කිසිවක් වලංගු නැති හිස් කඩදාසි පත්කළ තමන්ගේ සිතැඟි අනුව ගෙනයන පාලනයක්. අපේ රටේ දේශපාලනයේ මොනතරම් අඩුපාඩුකම් තිබුණත් යම් ශිෂ්ටභාවයක් ඉතිරි වී තිබුණා. ඔවුන් එය මුළුමනින්ම අශිෂ්ටත්වයට පත් කළා. අපේ රටේ ආර්ථිකයේ යම් අර්බුදයක් තිබුණා. ඒ අර්බුදය තීව්‍ර කළේ රාජපක්ෂලා. ඔවුන් අපේ රටටත්, ජනතාවටත් කළ විනාශය ඉතාමත් විශාලයි.

එහි අවසන් ප්‍රතිඵලය හැටියට රාජපක්ෂලා පලවා හැරීමේ සටනක් ඇති වුණා. ඒ සටන කෙළවර වී නැහැ. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නේත්, දිනේෂ් ගුණවර්ධනට අගමැතිකම දුන්නේත් ඇයි කියා බොහෝ අය අහනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පොහොට්ටුවේ මුරකරු. දිනේෂ් ගුණවර්ධන පොහොට්ටුවේ නායකයෙක් නොවෙයි. ඔහු අත්වාරුවක්. ඩලස් ජනාධිපති ධුරයට පත්කළහොත් පොහොට්ටුව රාජපක්ෂ පවුලෙන් ගැලවෙනවා.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය එයා අතට ගියා වගේ. මේ අවදානමෙන් මිදෙන්න ජනාධිපතිත්, අගමැතිත් පොහොට්ටුවට පිටින් ගෙනාවේ අනාගතයේ එන්න ඉන්න ළදරු රාජපක්ෂලාට පක්ෂය රැකලා දෙන්නයි. නමුත් තාමත් රාජපක්ෂ භූතාත්මය පාර්ලිමේන්තුවේ ඉන්නවා. බැසිල්ගේ භූතාත්මය පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් ළඟ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 134ක් යනු බැසිල්ගේ භූතාත්මයයි. රාජපක්ෂලා පරාජය කළ යුතු බවට විශාල ජනමතයක් තිබුණත් පාර්ලිමේන්තුවේ රාජපක්ෂලාගේ හිස නැති ශක්තිමත් කඳක් තිබෙනවා. ජනතා නැඟිටීමේ හරය වුණු රාජපක්ෂලා, තීරණාත්මක ලෙස පරාජය කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තිබෙන රාජපක්ෂලාගේ කඳ පරාජය කළ යුතුයි. එය කළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමකට අවස්ථාව ලබාදීමෙන් පමණයි.

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරුන්ට, මන්ත්‍රිවරුන්ට ජනතාව ළඟට යන්න බැහැ. ඒ නිසා නව ජනවරමකට අවස්ථාව ලබාදිය යුතුයි. 

මහ බැංකු කොල්ලයට, පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ හිරේ දමා ඔහු විකුණූ ජාතික සම්පත් අත්පත් කර ගන්නවා කියලා මන්ත්‍රිධුර ලබාගත් අය රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා. මේ දේශපාලන සංස්කෘතිය අනුමත කරන්නේ මොන පුරවැසියාද? රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ලිබරල්වාදියෙක් කියන කතා කවදාවත් විශ්වාස කරන්න එපා. ඔහු ත්‍රාඩයෙක්. හැඟීමක් නැහැ. තෙතමනයක් නැහැ. මේ වගේ කැත කිලිටි වූ දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබෙන්නේ. සජිත්, ඩලස් කඳවුර හැදුණෙත් ඒ වගේමයි. අපේ රටේ ආර්ථිකයත් දේශපාලනයත් විශාල වශයෙන් කඩා වැටීමට මේ දේශපාලන සංස්කෘතිය ඉවහල් වී තිබෙනවා.

ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු මේ කිලිටි වූ, පිළුණු වූ, දේශපාලන සංස්කෘතිය වෙනුවට පිරිසුදු දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ කඳවුරයි. අන්න ඒ සටන අපිට තිබෙනවා. “ගෝඨාගෝහෝම්” කියලා ඊළඟට කීවේ  “පැනලා යන්න දෙන්න එපා” කියලයි. බැසිල් යන්න ගිහින් එයාපෝර්ට් එකේ හිරවුණෙත් ඒ නිසයි. මේ සටන ඇතුළේ වංචා-දූෂණවලට එරෙහි අරගලයක් වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීමේ අරගලයක් තිබුණා. තවමත් ඒ අරමුණ ඉටුවී නැහැ. හොරකමට, දූෂණයට එරෙහිව ජනතාව පොදි බැඳගෙන ආ අරගලය ජාතික ජන බලවේගයේ අපේ කරපිටට ගන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ හමුදාව පොලිසිය මඟින් තමන්ගේ රැකවරණය හදාගන්න උත්සාහ කරනවා. ලෝකයේ සෑම තැනකම ජනතාවගේ විශ්වාසය නැති නායකයන් අවසානයේ විශ්වාස කරන්නේ මර්දන යාන්ත්‍රණයයි. ඒ නිසා හමුදාවල පොලිසිය බලාගන්න ‘ළෙන්ගතු අප්පච්චි’ බවට පත්වෙන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා.

ගෝල්ෆේස් පිටියට කඩා පැන එතන සිටිය සීමිත තරුණ පිරිස පලවා හැරීම කිලිනොච්චිය මුදා ගත්තා වාගේ දෙයක් බවට පත්කරන්න ඔහු උත්සාහ කරනවා. ඒක රනිල්ගේ වීරකමක් නොවෙයි. නිවටකමක්. ඒ දරුවන් පසුදා දහවල් 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලය භාරදෙන්න සූදානමින් හිටියා. නීතිඥ කණ්ඩායම්, ජාත්‍යන්තර ප්‍රජාව, දේශපාලන ව්‍යාපාර, ගොවි ජනතාව ඇතුළු කිසිවෙක් මේක අනුමත කරන්නේ නැහැ. හැබැයි රාජපක්ෂලාගේ 134 ටීම් එක මේ ප්‍රහාරය අනුමත කරනවා. ඒ 134 දෙනාට කොල්ලන්ගෙන් වාඩුවක් පිරිමහගන්න තිබෙනවා. මැයි 09 වාඩුව පිරිමහ ගන්න රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. මේක කළේ රාජපක්ෂ කඳවුර සතුටු කරන්න.

රනිල් වික්‍රමසිංහ මාර මර්දනයකට යන්න සැලසුම් හදලා තියෙන්නේ කියලා සමහර අය බිය වෙනවා. ඒ වෙනුවෙන් අඩියක්වත් යන්න බැහැ. ඊට ඉඩ නොදෙන බව සහතික කරනවා. ඒ ගැන බය වෙන්න එපා. සමාජ විද්‍යාත්මක කරුණක් තමයි භීතිය ඇති කරන එක. 2010 – 2015 රාජපක්ෂ පාලනය ගෙන ගියේ සමාජය භීතියට පත්කරලා. ගෝඨාභය සුදු වෑන් යොදා ඉස්සුවා. ෆෝන් එකකින් ෆෝන් එකකට කතා කරන්න බයේ හිටියා. ටැප් කරලා කියලා. හන්දියක් ගාණේ බුද්ධි අංශ දාලා තියෙන්නේ කියලා බයෙන් හිටියා. රනිල් කරන්නෙත් ඒක. බටලන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා භීතියක් හදනවා. ඒ අවුරුදු තිස්ගණනකට කලින්. එතකොට එයා තරුණයි. අපි පොඩියි. දැන් එයා මහලු බව මතක තියා ගන්න.

ඒ නිසා තවදුරටත් පරණ කතාව වලංගු නැහැ. ඔහුට තිබෙන එකම රැකවරණය ජනතා රැකවරණය නොවෙයි, ව්‍යවස්ථාව ඇතුළේ විධායක ජනාධිපතිට ලැබී තිබෙන අසීමිත බලතලයි. අනෙක් පැත්තෙන් හමුදාවේ යාන්ත්‍රණය ගැන විශ්වාසය තිබෙනවා. ඒ නිසා අපට නිලය බලලා හරියටම පහර එල්ල කිරීමේ වගකීම තිබෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන. ඒ සටනත් ආර්ථිකය ගොඩනැඟීමේ සටනත් ඒකාබද්ධව ගෙන යා යුතුයි. ව්‍යවස්ථාව ඇතුළේ ඒකාධිපති බලයට තිබුණු ඉඩකඩ විසින් ගෝඨාභය විකෘති මිනිහෙක් කරවූවා. අපේ රටේ කෘෂිකර්මාන්තය, ආර්ථිකය, විනාශ කළේ, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කරල විනාශ කළේ ඒ ඒකාධිපති විකෘතිය විසිනුයි.

ලෝකයේ කොතැනකවත් රටවල් වට්ටපු අය නැවත රටවල් ගොඩගෙන නැහැ. අලුත් කණ්ඩායම් ඇවිත් ගොඩගත්තා. ගොඩගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනාගන්න ඕනෑ. නඩු තියෙන අය ඇමැති මණ්ඩලයේ බහුතරයක් ඉන්නවා. ඔවුන් රට ගොඩගනී කියලා විශ්වාස කරන්නේ කවුද? රට තුළ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ගොඩගැනීමත් ලෝකයේ අලුත් වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමත් සම්බන්ධයෙන් ඒ නව පාලනය ක්‍රියාකරන්න ඕනෑ.

විදේශගත ශ්‍රමිකයන්ගේ ඩොලර් එවන්න විශ්වාසය තිබිය හැකි පාලනයක් ඕනෑ. මෙවැනි අර්බුදයකදී රටවල් ගොඩගන්නේ ජනතාවත් එක්ක එකට හිටගන්නා සහ එක්ව වැඩකරන පාලනයක් පමණයි. කඩිනම් මහ මැතිවරණයක් දිනාගෙන ජනතාවගේ කැමැත්ත සහ වුවමනාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් බිහිකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් නව සටනක් දියත් කරල ජයග්‍රහණය කරා ගෙනයන්න සියලුදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරනවා.

අනුරාධා හේරත්