මුහුදෙ කොච්චර මාළු හිටියත් සමහරු කැමති උම්බලකඩවලට

0
70

විවිධ මාදිලියේ ගැහැනු එක්ක පිරිමි අනේක වූ කායික හා මානසික සම්බන්ධතා පැවැත්වූවට, ඒ සියල්ල අතරින් වඩා තදින් හිතට දැනුණු, වඩා හොඳින් හිතට වැදුණු ස්ත්‍රී ප්‍රතිරූපයක් හැම පිරිමියකුටම තියෙනවා. සමහර වෙලාවට ගැහැනු පාර්ශ්වය පැත්තෙන් කතා කළත් වෙනසක් නැතිව ඇති. පිරිමි ජීවිතය තුළ පසුකරන අතෝරක් නැති ප්‍රේමණීය පරිච්ඡේදවලදී, එක් අහඹු තැනක, ජීවිතය උගන්වපු, ආදරය කියාදුන්නු, ගමන් මාර්ග එළිපෙහෙළි කරපු, මරණයෙන් ඔවුන්ව ගලවා ජීවත් වීම සඳහා හේතුවක් දීපු ගැහැනියක්

ඔවුන්ට හමුවෙලා තියෙනවා. My eternal love සිරා ලව් එක, හිතට වැදුණ එක වගේ පොදු ජනප්‍රිය හඳුන්වාදීම්වලින් ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ මත් මේස සාකච්ඡාවලදී පිරිමි උත්කර්ෂයට නඟන්නේ එහෙම ගැහැනුන්ව. ජීවිතයේ සමහර මතක ඇවිස්සෙන කාල කලාපවලදී, නිර්වර්ජිත රාත්‍රින්වලදී  අඬන්න, ‍ෙදාඩන්න, ස්වයංව වින්දනය කරන්න පිරිමි ළඟ තියාගන්නේ එහෙම ගැහැනුන්ව.

කොයිතරම් ආකර්ෂණීය පන්නයේ ගැහැනු ජීවිතයට ඉන් පස්සේ ආව ගියත් ඒ සියලු අය තුළින් පිරිමි දකින්න කැමැති වෙන්නේ අර තදට වැදුණු පැරණි ගැහැනියව. ගොඩක් වෙලාවට සම්බන්ධතාව බිඳීයෑමට පස්සේ, වෙනත් ප්‍රේමණීය පරිච්ඡේදයක් සඳහා කායිකව අවසර දුන්නත් එතැනදී හමුවෙන අලුත් ගැහැනියගෙනුත් සොයන්නේ අර පැරණි ගැහැනියගේ ඇස් දෙක, කට, නහය, මුහුණ, ආකල්ප, හැසිරීම සහ චින්තනය. ගොඩක් වෙලාවට එහෙම තත්ත්වෙකදී නව ප්‍රේමය ඇතුළේ ‘පෙම්වතා’ නම් කලින් හිටපු ළද බොළඳ ආදරණීය චරිතය නඩත්තු කරන්න පිරිමින්ට අමාරුයි. ප්‍රේමයක පැවැත්ම සඳහා උපකාරී වන සීමිත සම්පත් ටිකවත් නව ප්‍රේමයට ලබාදීලා අවම සම්පත් දායකයෙක් වෙන එකත් පිරිමින්ට අපහසුයි.

පිරිමි හිතක ගොඩනඟන ගැහැනු ප්‍රතිරූපයක් තදබල ගණයේ අහිමිවීමකට පස්සෙත් ගලවා දමන එක ලේසි නැහැ. එකී ගැහැනිය සමඟ ගත කළ අවස්ථා, නිම කළ චාරිකා, පසු කළ සාකච්ඡා, රැස් කළ මතක ආදිය ප්‍රායෝගික මට්ටමින් පුලුස්සා දමන එක පහසු නැහැ. ලේසි නෑ, පහසු නෑ කියන්නේ බැහැ කියන එක නෙමෙයි. ඇතැම්විට වෙනත් විකල්ප අවස්ථා ප්‍රයෝජනයට අරගෙන, වඩා හොඳ ආදේශක හිස්තැන් සඳහා ආදේශ කරගෙන  මතක ඉවත්කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න පුළුවන්. එහෙව් ක්‍රමවේදවලින් ‘මඟහැර’ යා නොහැකි වර්ගයේ පුද්ගල ප්‍රතිරූප මඟහැර ගිය ගැලවුම කියන කාරණාවේදී සාර්ථක පිරිමි සමාජයේ ඕනෑතරම් ඉන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ නැහැ බහුතරයක් පිරිමි ඒකට උත්සාහ කරනවා කියලා. උත්සාහ කළත්, ඒ උත්සාහය ප්‍රායෝගික වශයෙන් සාර්ථක වෙනකන් අඛණ්ඩව පවත්වා ගන්නවා කියලා.

මිනිස්සු තුවාල වෙන්න අකැමැති වුණාට, අකැමැත්තෙන් හරි තුවාල වුණාට පස්සේ  ඒ තුවාල සුව කරගන්න අකැමැති වෙනවා. බහුතරයක් දෙනා කැමැති වෙන්නේ තුවාල පාර පාරා වේදනාව හොයන්න. කැළැල් මැකීම කියන කර්තව්‍යය පැත්තකින් තියලා දෛනිකව තමන්ගෙ කැළැල් දිහා බල බලා තමන් තුවාල සහිත වූවෙක් බව තමන්ටම මතක් කරගන්න. ඒ තුළ ගොඩක් පිරිමි තමන්ටම ආවේණික ක්‍රමයකට වේදනාත්මක වින්දනය කියලා දෙයක් හොයාගන්නවා. (මම හිතන්නේ ඒක විඳවීම කියන කාරණාවට වඩා පියවර කිහිපයක් එහා තිබෙන තත්ත්වයක්) ඒ වේදනාත්මක වින්දනය නිසාම පිරිමි තමන්ගේ වේදනාකාරී මතක එක්කම ජීවිතය දිගේ ඉස්සරහට යනවා.

ජීවිතය කුමන තරාතිරමක තිබ්බත්, ජීවිතය කුමනාකාරයේ ඉහළ ඉසව්වකට මෙහෙයවලා තිබ්බත්, ජීවිතය කවරාකාරයේ ධනාත්මක ස්වරූපයක් වැලඳගත්තත් අර මතක ටික එක්ක ජීවිතයේ තැන් තැන්වල තනිවෙලා ආකල්පමය වශයෙන් මූඩ් ගහන්න, සෘණාත්මක වෙන්න, හිත රිද්දගන්න, කලකිරෙන්න පිරිමි කැමැති වෙනවා. ඒක දෛවයේ සරදමක්, කරුමයක් හෝ බොන්න ඕන වර්ගයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තෝරාගැනීමක්. කැමැත්තෙන්, ආසාවෙන් වගේම යටපත් කිරීමට ලෝබ හිතෙන ආකාරයේ ආදරය එක්ක කරන තෝරාගැනීමක්.

අපි හැමෝම තුවාල සහිත මිනිස්සු. තුවාල සුව විය යුතුයි කියන තැන මම හිටියත්, තුවාලවල කැළැල් නැති විය යුතුයි කියන තැන මම නැහැ. මොකද වේදනාත්මක වින්දනය කියලා අත්දැකීමක්, අත්විඳීමක් හැම මිනිහෙක්ටම තියෙන්න ඕන. වැළලෙන්නෙ නැතිව වැලපෙන්න පුළුවන් අධිමාත්‍රගත මතක ටිකක් හැම මිනිහෙක්ම රැස්කරලා තියෙන්න ඕන. පරිස්සමට අරන් තියෙලා තියෙන්න ඕන.