මන්කිෆොක්ස්වලින් බේරෙන්නේ මෙහෙමයි

0
27

මන්කිෆොක්ස් වයිරසය ශ්‍රී  ලංකාවට ඇතුළු වීමේ ඉඩකඩ ඇතත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යන්නේ නම් එම රෝගය මැඬලීමට අපහසු නොවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ‘මව්බිම’ට ඊයේ (25දා) පැවැසීය.

පිටරට සංචාරය කර පැමිණියේ නම් තද උණ සමඟ සමේ දද හෝ බිබිළි මතුවන්නේ නම්, වහා වෛද්‍යවරයකු හමුවන්නැයි වෛද්‍ය හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සැක කටයුතු රෝගියකු නම් වෛද්‍යවරයා පරීක්ෂණ හා ප්‍රතිකාර අරඹනු ඇති බවත් රෝගය පැතිර යෑම වැළැක්වීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් මන්කිෆොක්ස් රෝගය පිළිබඳ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතත් ශ්‍රී  ලංකාව රෝග වැළැක්වීමේ පෙර සූදානමක සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මන්කිෆොක්ස් වයිරසය, කොවිඩ් 19 වයිරසය මෙන් වේගයෙන් පැතිර නොයන බවත්, ඉතාම සමීපව ඇසුරු කරන්නකුගෙන් හැර බෝ නොවන බවත් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේය.

එමෙන්ම මෙම රෝගයේ රෝග ලක්ෂණ පිටතට හොඳින් පෙනෙන බැවින් රෝගීන්ට සමාජයේ සැඟවී සිටිය නොහැකි බවත්, ජනතාවගේ යුතුකම විදේශගත වී සිට පැමිණියේ නම් හා රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම බවත් ඔහු පෙන්වා දුන්නේය.  

විනීතා එම්. ගමගේ