මගීන් මඤ්ඤං කරන දුම්රිය ගාස්තු

0
85

දුම්රිය ගාස්තු සියයට 60කින් වැඩි වෙන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවත් එය ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක්. බවත් බොහොමයක් දුම්රිය ස්ථාන අතර නව ගාස්තුව සියයට 350කින් වැඩි කර ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

පෙර රුපියල් 15.00ව පැවැති ගාස්තුව නව සංශෝධනය මඟින් රුපියල් 40.00ක් දක්වා ඉහළ දමා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 125ක් බවත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව පීඩාවකට ලක්ව සිටින මොහොතක සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ගාස්තුවට සාපේක්ෂව වාර ප්‍රවේශපත් ගාස්තුවද විශාල වශයෙන් ඉහළ යන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එලෙස අවිධිමත් ආකාරයෙන් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව තම සංගමය දැඩිව විරෝධය දක්වන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ පරිදි ලබන මාසයේ පළමු වැනිදා (1දා) සිට සංශෝධන සහිතව එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය. 

දුම්රිය වෘත්තීය සමිති පැවැති මිලට ගාස්තු අයකරන බව දැනුවත් කර තිබුණත් ඊයේ දිනයෙත් දුම්රිය ස්ථාන කිහිපයකම නව මිල ගණන්වලට අනුව ගාස්තු අය කරන ලද බවත් ප්‍රවේශ පත්‍ර සටහන් මිලට වඩා සියය‌ට 200 – 300කින් පමණ වැඩි මුදලක් අය කරන ලද බවටත් මගීහු චෝදනා කළහ.

මේ අතර සංශෝධනය කරන ලද නව දුම්රිය ගාස්තු ක්‍රියාත්මක නොකරන සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ දුම්රිය සංශෝධනයන් පිළිබඳව සෑම දුම්රිය ස්ථානයකම ප්‍ර‍දර්ශනය කිරීමට කටයුතු කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ‘මව්බිම’ට පැවැසීය.

මිතුන් ජයවර්ධන