බැතිමත්හු 5,000ක් පාද වන්දනාවෙන් කතරගම ඇසළ මංගල්‍යයට එති

0
11

ලබන 29 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය සඳහා උතුරු නැඟෙනහිර සිට පාද වන්දනාවෙන් බැතිමතුන් 5,000කට ආසන්න පිරිසක් මෙවර යාල වන උද්‍යානය ඔස්සේ කතරගම පුදබිම වෙත පැමිණෙමින් සිටිති.

පසුගිය 22 වැනිදා බැතිමතුන් සඳහා කුමන සහ යාල වන උද්‍යාන වෙත පැමිණීමට වනජීවී දෙපාර්තමේන්තුව අවසරය ලබාදෙන ලදී.

මෙම බැතිමතුන් කුමන, යාල වන උද්‍යාන වෙත මේ වනවිට පැමිණ තිබේ. මෙම පිරිස ලබන 26 වැනි දින රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණීමට නියමිතය. මෙම බැතිමතුන්ගේ පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධව සොයා බැලීම පිණිස 24 වැනිදා මොනරාගල දිසාපති ගුණදාස අමරසිංහ මහතා සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර, මහනුවර ශ්‍රී  දළදා මාලිගයේ බස්නායක නිලමේ නිලංග දෑල බණ්ඩාර, කතරගම පොලිස් ස්ථානාධිපති රෝෂ්න් අනුරුද්ධ යන මහත්වරු ගොස් බැතිමතුන්ගේ යටිතල පහසුකම් සම්බන්ව සොයා බැලූහ.

මෙම බැතිමතුන් යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, පොතුවිල්, පානම, ඔකන්ද, කුමන, කුඹුක්කන් ඔය, යාල වන උද්‍යානය, මැණික් ගඟ, කටගමුව ඔස්සේ කතරගමට පැමිණෙති. මෙම පාද වන්දනාව වසර 03කට පසුව මෙවර ආරම්භ විය. 2019 සිට 2020-2021 යන වර්ෂවලදී කොරෝනා තත්ත්වය මත බැතිමතුන්ට පැමිණීමට නොහැකි විය.

මෙවර කතරගම ඇසළ මංගල්‍යය ලබන 29 වැනි දින සිට අගෝස්තු 11 වැනි දින දක්වා පැවැත්වේ.

පාද වන්දනාවෙන් මෙවර බැතිමතුන් 35,000ක් පමණ පැමිණීමට නියමිතය. කතරගම ඇසල පූජෝත්සවයට සහභාගි වීම සඳහා මධ්‍යම කඳුකරයේ සිට පාද චාරිකාවෙන් යන හින්දු බැතිමතුන් මෙවරද මේ වන විට සිය පාද චාරිකාව ආරම්භ කර තිබේ.

හැටන්, තලවකැලේ, මස්කෙළිය, නුවරඑළිය, පුස්සැල්ලාව, රම්බොඩ ආදී ප්‍රදේශවල සිට බැතිමතුන් විශාල පිරිසක් මෙලෙස පා ගමනින් කතරගම බලා ගමන් කිරීම ආරම්භ කර ඇත. රටට සාමය සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් හා දේව ආශීර්වාදය ලබා ගැනීම සඳහා මෙලෙස පා ගමනින් කතරගම ඇසළ උත්සවය සඳහා සහභාගි වීමට ගමන් කරන බව මේ සඳහා එක්ව සිටින බැතිමත්හු පවසති. එලෙස ගමන් ඇරඹූ බැතිමතුන් කැප්පෙටිපොළ, වැලිමඩ හා බණ්ඩාරවෙල නගර හරහා ගමන් කරන ආකාරය මේ දිනවල දැක ගත හැකිය.

කතරගම – සන්දිම දේවප්‍රිය, බොරලන්ද – සමන් නැදුන්ගමුව