බටලන්ද භීතිකාව දැන් ඇති කරන්න බෑ

0
64

“බටලන්දෙ කියලා  මාර බියක් ඇති කරගන්න එපා, එදා රනිල් තරුණයි, අද මහලුයි” යැයි ජාතික ජන බලවේගයේ නායක. කොළඹ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර දිසානායක මහරගම පැවැති  සම්මන්ත්‍රණය අමතමින් පැවැසීය.

රනිල්  යනු වීරයෙක් නොවන බවත්  ඉතිහාසයේ  කතා අද වන විට වලංගු නොමැති බවත්  මන්ත්‍රිවරයා කීය.

එමෙන්ම  රනිල්  වික්‍රමසිංහ  ජනාධිපතිවරයා  අද  හමුදාවේ පොලිසියේ “ළෙන්ගතු අප්පච්චි” වීමට යන බවද  දිසානායක මහතා පැවැසීය.

“විකෘති පාලනයෙන් ජනතා පාලනයකට” මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකයා මෙසේද කීය.

“රනිල් වික්‍රමසිංහ මාර මර්දනයකට යන්න සැලසුම් හදලා තියෙන්නේ කියලා සමහර අය බිය වෙනවා. ඒ වෙනුවෙන් අඩියක්වත් යන්න බැහැ. ඊට ඉඩ නොදෙන බව සහතික කරනවා. ඒ ගැන බය වෙන්න එපා. සමාජ විද්‍යාත්මක කරුණක් තමයි භීතිය ඇති කරන එක. 2010 – 2015 රාජපක්ෂ පාලනය ගෙන ගියේ සමාජය භීතියට පත්කරලා. ගෝඨාභය සුදු වෑන් යොදා ඉස්සුවා. ෆෝන් එකකින් ෆෝන් එකකට කතා කරන්න බයේ හිටියා. ටැප් කරලා කියලා. හන්දියක් ගානේ බුද්ධි අංශ දාලා තියෙන්නේ කියලා බයෙන් හිටියා. සමාජයේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණාම මානසිකත්වයක් ඇති කරනවා භීතියට පත්කිරීමෙන්. රනිල් කරන්නෙත් ඒක. බටලන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා භීතියක් හදනවා. ඒ අවුරුදු තිස්ගණනකට කලින්. එතකොට එයා තරුණයි. අපි පොඩියි. දැන් එයා මහලු බව මතක තියා ගන්න. ඒ නිසා තවදුරටත් පරණ කතාව වලංගු නැහැ. ඔහුට තිබෙන එකම රැකවරණය ජනතා රැකවරණය නොවෙයි. ව්‍යවස්ථාව ඇතුළේ විධායක ජනාධිපතිට ලැබී තිබෙන අසීමිත බලතලයි.

අනෙක් පැත්තෙන් හමුදාවේ යාන්ත්‍රණය ගැන විශ්වාසය තිබෙනවා. ඒ නිසා අපට නිලය බලලා හරියටම පහර එල්ල කිරීමේ වගකීම තිබෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන. ඒ සටනත් ආර්ථිකය ගොඩනැඟීමේ සටනත් ඒකාබද්ධව ගෙන යා යුතුයි. ව්‍යවස්ථාව ඇතුළේ ඒකාධිපති බලයට තිබුණු ඉඩකඩ විසින් ගෝඨාභය විකෘති මිනිහෙක් කරවූවා. අපේ රටේ කෘෂිකර්මාන්තය, ආර්ථිකය විනාශ කළේ, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කරලා විනාශ කළේ, ඒ ඒකාධිපති විකෘතිය විසිනුයි” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

අනුරාධා හේරත්