පොහොට්ටුව රනිල්ට සහාය දුන්නේ මහ මැතිවරණය කල්දමා ගැනීමටයි

0
20

“රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා කියලා ආණ්ඩුවේ වෙනසක් ඇතිවුණා කියලා ජාත්‍යන්තර පිළිගැනීමකට හා විශ්වාසය දිනාගෙන නැහැ” යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක  පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම අදහස් පළ කළේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“පසුගිය 20දා ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී අපි කළේ ජනතා න්‍යාය පත්‍රයක්   ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් ක්‍රියා කිරීමයි. අවාසනාවට ඒ ක්‍රියාදාමයේදී ආණ්ඩුව ජනාධිපතිවරයා පත් කරන්න අවශ්‍ය කණ්ඩායම ක්‍රියාත්මක කළේ තමන්ගේ ආරක්ෂාව, පැවැත්ම සහ දේශපාලන අනාගතය සහතික කරගන්න ඡන්දය පාවිච්චි කිරීමයි.

අපි පහුගිය කාලයේ අරගල කණ්ඩායම් සමඟ විවිධ සාකච්ඡා කළා. අරගලකරුවන් කියන්නේ මේ රටේ ජනතාව සමඟ එකතු වෙලා රාජ්‍ය  පරිපාලනයේ system change එකක් ගැන කතා කරපු කණ්ඩායමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ කණ්ඩායම අරගලය දින වන ජනතා සම්මුතිය ජයග්‍රහණය කරවීම තමයි අපේ මූලික අභිප්‍රාය වුණේ. ඔවුන් කියලා තිබුණු පරිදි 19 වැනි සංශෝධනය කඩිනමින් සම්මත කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, රාජපක්ෂලා ඇතුළු දූෂණයට සම්බන්ධ නැති අයගෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීම, වසරක් තුළ මහ මැතිවරණයකට යෑම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන තෙල්, විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් කඩමින් ලබාදීම වැනි කරුණු ගණනාවක් ජනතා සම්මුතියට ඇතුළත් වෙලා තිබුණා.

එය තමයි අපි දිනවන්න කතා කළේ. නමුත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් 134ක් මෙය නොවෙයි කළ යුත්තේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා දිනවන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළා. අපි දන්න හැටියට ඒ ඡන්දය දුන්නු කණ්ඩායම්වල අභිමතය වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නවත්තන්නයි. මොකද දැන් ආණ්ඩුවට රටේ ජනමතයක් නැහැ.

පාර්ලිමේන්තුවේ මතය සහ බිම තියෙන මතය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ පත්කරපු ජනාධිපති අරගලයකින් පලවා හරිනකොට ආණ්ඩුව අරගලයකින් විසුරුවා හරිනකොට අවුරුද්දක් ඇතුළත අන්තර්කාලීන ආණ්ඩුව තුළින් මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයන් පත් කරගන්න කියලා. ඒ අයට රටේ වගකීම භාරදිය යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ කණ්ඩායම් මන්ත්‍රිවරුන්ට පොරොන්දු දීලා තිබුණා ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන්නේ නැහැ කියලා. ඒ වගේම  ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගණනාවක් පහුගිය අරගල අවස්ථාවේ විනාශ වුණා.

ඒ කණ්ඩායම්වලට රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් සහතිකය තමයි වන්දි ගෙවීම, ගෙවල් ගොඩනැඟීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සහ අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව ලබාදීම. මේ කාරණා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වුණා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය අනුව තමයි බහුතරය ඔහුට ලැබුණේ. නමුත් රටේ ජනතා මතයට විරුද්ධව පාර්ලිමේන්තුවේ එම ක්‍රියාදාමයන් ජනතාවගේ මතය බව අපි පිළිගන්නේ නැහැ.

සමහර අය කියනවා මේ සඳහා මුදල් ගනුදෙනු සිදුවුණා කියලා. අපි ඒ අය දැක්කේ නැති වුණත් සමාජයේ මතයයි. වරදාන ප්‍රතික්ෂේප කරපු අපේ කණ්ඩායමට අපේ ගෞරවය පිරිනමනවා.

අද අලුත් ජනාධිපතිතුමාට ප්‍රධාන අභියෝග කිහිපයක් තියෙනවා. එය මේ රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීම. එසේ නැතිව රටක් ඉස්සරහට ගන්න බැහැ.

ඉදිරි දිනවල විදුලි බිල විශාල ප්‍රතිශතයකින්  ඉහළ යන බව කියනවා. එය ජනතාවට දරාගන්න බැරි වෙනවා.

රට යළි ස්ථාවර කරලා ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක ජනාධිපතිවරයා පැහැදිලි කිරීම පමණක් නෙමෙයි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න වෙනවා. ඒක ඔහු ඉදිරියේ තිබෙන අභියෝගයක්. නැත්නම් මේ අරගලය නවතින්නේ නෑ. මේ අරගලය හුදු දේශපාලන අරගලයක් නෙමෙයි. මේ අරගලය ගොඩනැඟුණේ ජනතාවගේ සමස්ත එකඟතාව ඇති බව පැහැදිලියි.

තෙල් අර්බුදය විසඳන්න ආණ්ඩුවට කිසිදු උපාය මාර්ගික වැඩපිළිවෙළක් නැහැ. ලබන අගෝස්තු මාසේ 15ට පස්සේ ලංකාවට තෙල් ගෙන්වන්න කිසිදු ඇනවුම් ක්‍රියාත්මක වෙලා නැහැ. සැප්තැම්බර් දක්වා කිසිදු ආකාරයක තෙල් ගෙන්වීමේ වැඩපිළිවෙළක් නැහැ. එහිදී ඇති වෙන තෙල් හිඟය වළක්වා ගැනීම සඳහා QR code එක ගෙනත් තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්ද. අත්‍යවශ්‍ය සේවාවන් මොකද වෙන්නේ.

පාසල් ටික ගත්තත් සතියට දවස් තුනයි. එය විවෘත කරන විට ගුරුවරුන්ට, දරුවන්ට පාසල්වලට යන්න පුළුවන් විදියට ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕන. පෞද්ගලික බස් රථ සංගමය කියනවා 50%ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. පෞද්ගලික වාහනවලට ඇත්තෙම නැහැ. සෞඛ්‍ය අංශයට ඇති වෙච්ච තත්ත්වය අපි දකිනවා.

ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ලෝක සෞඛ්‍ය සංවිධානය කරලා තියෙන අනතුරු ඇඟවීම ගැන වහා අවධානය යොමු කරලා මේ රටට ඇතුළු නොවෙන්න ජනතාව බේරගන්න පුළුවන් උපායමාර්ගික වැඩපිළිවෙළ සකස් කරන්න.

පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි අරගලකරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීමක් සිදුවුණා. එය සාධාරණීකරණය කරන්න බොහෝ දේවල් ආණ්ඩුව කියනවා. පොලිසිය මාධ්‍ය  සාකච්ඡා පැය ගණන් පවත්වනවා. නමුත් අපි දකින්නේ මෙය ම්ලේච්ඡ ප්‍රහාරයක් විදියට. මෙයට ඇතුළත් වීමේ අවස්ථාව. ජනාධිපති කාර්යාලයට අලුයම ඇතුළු වෙලා ඔවුන් අනුගමනය කළ ක්‍රියාදාමය අමානුෂිකයි කියලා හැම පැත්තෙන්ම කියනවා. ඔවුන්ට ඉවත් වෙන්න කියලා දැනුම් දීමක් කරන්නේ නැතුව ඔවුන් ඉවත් වෙන බව දැනුම් දීමක් කරලා තිබියදී මේ ආකාරයෙන් පහරදීම නින්දිත ක්‍රියාවක් හැටියට. ඒ නිසා මේක ලෝක අවධානයට යොමු වෙච්ච කාරණාවක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මේ ගැන බලාගෙන සිටිනවා. අපේ රටේ නැවත වතාවක් මානව හිමිකම් කඩකිරීම්, මෙවැනි දේවල් සිදු වුණොත් අනිවාර්යයෙන්ම අපට ජාත්‍යන්තර තහනම් එන්න ඉඩකඩ තිබෙනවා. මානව හිමිකම් සංවිධාන අපිට දන්නවා. තිබෙන කාරණා දිහා බැලුවම ඒ ආසන්නයේ තියෙන ඒ වළක්වා ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තිබෙනවා.”

නිර්මාණි ගුණරත්න