පෙට්රල් දෙන්නම් කියා බස් රියේදී හිතවත් වූ තරුණයා හිමිනමගේ රු. 56,000කට විදලා

0
27

ඉන්ධන ලීටර් 80ක් අලෙවි කිරීමට ඇති බව දන්වා රුපියල් 56,000ක මුදලක් පුද්ගලයකු විසින් වංචා කර පලා යෑමේ සිද්ධියක් පිළිබඳව හිමිනමක් ඊයේ (25දා) කෑගල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මහනුවර පන්විල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන තරුණ හිමිනමකි.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති හිමිනම මීට සති දෙකකට පමණ ඉහතදී කෑගල්ලේ සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයකින් පොල්ගහවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකට වැඩම කරමින් සිට ඇත.

එහිදී තරුණයකු අල්ලපු අසුනේ සිට ස්වාමීන් වහන්සේ සමඟ හිතවත් වී තමන් රැකියාව කරන්නේ කෑගල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස බවත් පවසා ජංගම දුරකථන අංකයද දී ඇති බවත් සඳහන්ය. පැමිණිලිකාර ස්වාමීන් වහන්සේගේ මව මහරගම පිළිකා රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එහි යෑමට ඉන්ධන ගැටලුව බලපා ඇති බව සෞඛ්‍ය කාර්ය සහායකයාට දුරකථනයෙන් හිමි නම මීට දින කිහිපයකට ඉහතදී කතා කරමින් සිටියදී ප්‍රකාශ කර තිබේ. පසුව එම තරුණයා ස්වාමීන් වහන්සේට කියා ඇත්තේ තමන්ට ඕනෑ තරම් ඉන්ධන ලබා දිය හැකි බවත් ලීටරයක් තමන් රුපියල් 700ට අලෙවි කරන බවත්ය.

පසුව ස්වාමීන් වහන්සේ සෞඛ්‍ය කාර්ය සහායකයා යැයි කියන පුද්ගලයාගෙන් ඉන්ධන ලීටර් 80ක් ඉල්ලා තිබේ. ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇති එම තරුණයා ස්වාමීන් වහන්සේට 25 වැනිදා එනම් අලුයම 4.00ට කෑගල්ල මහ රෝහල පිටුපසට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ අනුව තරුණ හිමිනම පන්විල සිට කුලියට ගත් ත්‍රිරෝද රථයකින් එම වේලාවට රෝහල පිටුපසට පැමිණ ඇති බවත් සෞඛ්‍ය කාර්ය සහායකයා යැයි කියන පුද්ගලයාද පැමිණ හිමිනමගෙන් රුපියල් 56,000ක මුදලක් ඒ සඳහා ඉල්ලාගෙන රැඳී සිටින ලෙස දන්වා රෝහල ඇතුළතට ගොස් ඇති බවත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත. පසුව ස්වාමීන් වහන්සේ උදේ හීල් දානයද නොගෙන ත්‍රිරෝද රථකරු සමඟ පෙරවරු 11 දක්වා රෝහල පිටුපස සිට ඉන්ධන රැගෙන ඒ යැයි බලාපොරොත්තුවෙන් මඟ බලා සිට ඇති බවත් පසුව කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළට ගොස් ස්ථානාධිපතිවරයාට තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබේ.

පසුව කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ මඟින් ස්වාමීන් වහන්සේ කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට යොමු කිරීමෙන් පසු ඔහු භාවිත කරන ජංගම දුරකථනයේ අංකය සමඟද පොලිසියට පැමිණිලි කළ බවත් තරුණයා හඳුනාගත හැකි බව ස්වාමීන් වහන්සේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විමර්ශන කටයුතු සිදු කරයි.  

දමුණුපොළ – චමින්ද ජයලත්