පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ගෙනියන්න කැරලිකරුවන්ට ඉඩදෙන්න බෑ

0
14

කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ගෙනයෑමට ඉඩදිය නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (25දා) පැවැසීය.

පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපොළවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට බලාසිටින පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආරක්ෂා කිරීමට තමන්ට පැවරුණු රාජකාරිය වෙනුවෙන් පෙනී සිටි ත්‍රිවිධ හමුදාව ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් මුදාගත් බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.

ඇමරිකානු කොංග්‍රස් ගොඩනැඟිල්ල කැරලිකරුවන්ගෙන් මුදාගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි පිරිස ඉවත් කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදී නින්දිත පහරදීම් සිදුවූ බවට ඇතැම් අය චෝදනා කරන බවත් නීතියට පිටින් කටයුතු සිදුවී තිබේ නම් ඒ පිළිබඳව සොයාබලා පරීක්ෂණ කළ යුතු බවත් නානායක්කාර මහතා කීය.

අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවත් නිර්පාක්ෂික අරගලකරුවන් රැඳීසිටින ගෝඨාගෝගම ඉවත් නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අරගලයේ මතවාදයන් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිත කිරීමට රජය සූදානම් බව පැවැසූ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා එම තරුණයන් රාජ්‍ය පාලනයට යොදා ගැනීමටත් ඔවුන්ට කතා කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීමටත් රජය සූදානම් බව සඳහන් කළේය.

අරගලයකින් බලාපොරොත්තු වන ‘ක්‍රමයේ වෙනසක්’ සිදුකර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙන බවත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා එම වැඩපිළිවෙළට අනුගත විය යුතු බවත් නානායක්කාර මහතා කීය.

අමිත් මධුරංග ගමගේ