නාඋල ඉන්ධන පිරවුම්හලේ කැබ් රථයට පහරදුන් සැකකරුවන් තිදෙනා රිමාන්ඩ්

0
12

නාඋල පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම් හලට අයත් කැබ් රථයකට පහරදී අනර්ථයක් කළේ යැයි සඳහන් කරමින් නාඋල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ නාඋල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු තිදෙනකු ඊයේ (25දා) රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

නාඋල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිෂාධි චන්ද්‍රවංශ මහත්මිය නියෝග කළේ අගෝස්තු 01 වැනිදා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

පසුගිය දිනෙක (23දා) රාත්‍රි කාලයේදී නාඋල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත්කරන අතරතුර සමුපකාර සමිතියට අයත් කැබ් රථයකට පහරදී අලාභහානි කළේ යැයි 1982/ අංක 12  දරන පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 147/412 යටතේ අයුතු ජන රාශියක් සහ අනර්ථයක් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නාඋල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

සිද්ධියට අදාළව එක් සැකකරුවකු වන නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවකු පසුගියදා (24දා) නාඋල වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍යාමලි විජේරත්න මහත්මිය හමුවට නාඋල පොලිසිය මඟින් ඉදිරිපත් කරන ලදුව ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

නාඋල _ අයි.ඒ. කුමාර