ධම්මික පෙරේරා යන්නෙ නෑ

0
65

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පත් කෙරුණු ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයේ දිගටම රැඳී සිටිනු ඇතැයි පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වන බවට හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා, ලිඛිතව තමාට මේ වන තුරු දැනුම්දී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් ‘මව්බිම’ කළ විමසීමකදී පැවැසීය.

එම නිසා ධම්මික පෙරේරා මහතා ඉවත් වුවහොත් ඊට පත් කරන නියෝජිතයා පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද පොදුජන පෙරමුණේ ලේකම්වරයා කීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ පසු එම පුරප්පාඩුවට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත්කළ අතර පසුව ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක්ද පිරිනමනු ලැබීය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අදාළ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ධම්මික පෙරේරා මහතා පසුගියදා තීරණය කළ අතර ඉන් පසුව  ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් වන බවට වාර්තා පළ විය.

නමුත් මේ දක්වා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර නොමැති නිසා ධම්මික පෙරේරා මහතා දිගටම අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයේ රැඳී සිටිනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය