දෙමළ පක්‍ෂ දෙමළ ජනතාවට යහපත් තීරණයක් ගත්තේ නෑ

0
13

අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයේදී දෙමළ දේශපාලන පක්ෂ කොටස් තුනකට බෙදී ඡන්දය භාවිත කළ බවත් එය පීඩාවට පත්ව සිටින ප්‍රජාවක් වශයෙන් දෙමළ ජනතාවට අයහපත් තීරණයක් බවත්.

ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවැසීය. ඔහු මේ බව පැවසුවේ පෙරේදා (24දා) යාපනයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවේ අරගලය මඟින් ගෙන එනු ලැබූ නව ආණ්ඩුව මඟින් රටේ ජනතාවටත් රටේ ආර්ථික සංවර්ධනයටත් කොතරම්දුරට දායක වනු ඇද්ද යන්න ප්‍රශ්නයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙසේද කීය.

“ජන අරගලය මඟින් හිටපු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා එළවනු ලැබුවත් නැවත වරක් බලයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ පත්ව සිටින අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා පත්ව තිබෙනවා.

පැවැති ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව අතර වෙනත් කිසිදු වෙනස්කමක් දැකිය නොහැකියි.

පැවැති ආණ්ඩුවේ කිහිපදෙනකු ධුරවලින් එළවීමට හැකියාවක් ලැබුණත් තවම තිබෙන්නේ පැවැති ප්‍රතිපත්තියම සහිත ආණ්ඩුවක්. රටේ ජනතාව දින 100කට වැඩි ගණනක් අරගල කළේ මෙවැනි වෙනසකට දැයි යන ගැටලුව මෙහිදී මතු වෙනවා.

පවතින ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුටම එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. එබැවින් ඔවුන් මේ රට සංවර්ධනය කරයි හෝ රටේ පවතින විදෙස් ණය ගෙවීමට ඔවුන් ක්‍රියා කරනු ඇතැයි කියා රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයා බවට පත්කරගෙන තිබෙනවා. ඔහුට මේ රටේ තවත් වසර දෙකක කාලයක් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීම වෙනුවෙන් බලය ලැබෙනවා.

කෙසේ වෙතත් අපට ජාත්‍යන්තර වශයෙන් උපකාර ලැබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවහොත් පමණයි. නමුත් එැවැනි ආණ්ඩුවක් තවම පිහිටුවීමට සමත්වෙලා නැහැ.

වත්මන් ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට විසඳුම් කිසිසේත් ලබා ගත නොහැකියි. ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ඡන්දයේදී දෙමළ දේශපාලන පක්ෂ ඒකමතික තීරණයක සිට කටයුතු කළේ නැහැ. එය පීඩාවට පත් වූ ජන කොටසක් වන දෙමළ ජනතාව සම්බන්ධයෙන් එතරම් සුබදායි තීරණයක් නොවෙයි.”

ඩී.එල්. ජයකොඩි