දෙනිපිටිය මහ විදුහලේ ගුරුවරු මාරු කළාට විරෝධයක්

0
44

වැලිගම දෙණිපිටිය මහා විද්‍යාලයේ (ජාතික පාසල)  ගුරුභවතුන් කිහිපදෙනකු වෙනත් පාසල් සඳහා මාරු කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් ඊයේ (25දා) පෙරවරුවේදී එම විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් වැලිගම දෙණිපිටිය මහා විද්‍යාලයේ හය වසරේ සිට අ.පො.ස. උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සේවය කළ එම ගුරුභවතුන් ඉකුත් ජුනි මස සිට වෙනත් පාසල් සඳහා මාරුකොට යවා තිබේ. එහිදී වසර 11ක සේවා කාලයක ගුරුවරුන් දෙදෙනකු හා වසර 10ක සේවා කාලයක ගුරුවරුන් දෙදෙනකුද වසර 6, 7ක සේවා කාලය සේවය කළ ගුරුවරුන් දෙදෙනකුද අයත් වන බව පැවැසේ.

එම ගුරුවරුන් වෙනුවෙන් වෙනත් ගුරුවරු මෙම පාසලට අනුයුක්ත කොට ඇති අතර කෙසේ නමුත්  දරුවන් විභාගයට ඉදිරිපත් වන කාලය ඉතාමත් ළංව ඇති බැවින් එම ගුරුවරුන් මාරු කිරීම ඉතා අසාධාරණ බවත් එමඟින් දරුවන්ට අසාධාරණයක් වී ඇති බව සඳහන් කරමින් විරෝධතාව පැවැත්විණි. ‘ගම්වැසියනි මේ අහන්න, ඔබේ පාසල බේරගන්න අපිත් එක්ක එකතු වෙන්න, අධ්‍යක්ෂතුමනි, අපේ දරුවන්ගේ අයිතිය විදුහල්පති උදුරා ගත්තේ ඇයි?, නොතේරෙන ධදතඪදඥ අපට එපා, තේරෙන්න උගන්වන ගුරුවරු දෙන්න, අපිට අපේ ගුරුවරු දී ඉගෙන ගන්න ඉඩ හදන්න, අපේ ගුරුවරු අපට දෙන්න’ ආදී සටන් පාඨ පුවරු අතැතිව  මවුපියන් පිරිසක් සාමකාමීව විරෝධතාවේ නිරත වූහ.

කෙසේ නමුත් පාසලට පැමිණ සිටි දරුවන් අතරින් හතළිහකට ආසන්න දරුවන් පිරිසක් අනවසරයෙන් විද්‍යාල පරිශ්‍රයෙන් පිටතට පැමිණ මෙම විරෝධතාවට එක්වූහ.

අනතුරුව විරෝධතාකරුවන් සටන් පාඨ පුවරු අතැතිව විද්‍යාලයට යාබදව පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් විරෝධතාවේ නිරත විය. මෙහිදී විරෝධතාවට එක්ව සිටි සිසුවෝ ‘විදුහල්පති ගෝ හෝම්’ ලෙස සඳහන් කරමින් විරෝධතාවේ නිරත වූහ.

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.ඒ. කාර්යවසම් මහතා විරෝධතාකරුවන් ඉදිරියට පැමිණ මේ සඳහා දරුවන් එක්වූයේ කෙසේද යන්න පිළිබඳව විපරම් කළේය. අනතුරුව එම දරුවන් පාසලට යැවීම සඳහා කටයුතු කළද එහිදී බලධාරීන් විසින් දරුවන් පාසල් භූමියට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් පාසල් ගේට්ටුව විවෘත කරදීමට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මැදිහත්වීමට සිදුවිය.

කෙසේ වෙතත් මාරු කළ ගුරුවරුන් සම්බන්ධයෙන් සාධාරණත්වයක් ලබාගැනීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හමුවන ලෙස කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් දැනුම්දීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ විසිර ගියහ.

වැලිගම _ නුවන්