දියණිය සොයා දෙන්නැයි ඉල්ලමින් පියා විදුලි කණුවක් උඩ උපවාසයක

0
33

සතියකට පමණ පෙර සිට අතුරුදන්ව ඇති 15 හැවිරිදි තම දියණිය සොයා දෙන්නැයි ගල්කිරියාගම පොලිසියට බල කරමින් පියකු පෙරේදා (24දා) පස්වරුවේ සිට ගලේවෙල කුඩාවැව ප්‍රදේශයේ පිහිටි අධි බලති විදුලි කණුවක් මත නැඟ උපවාසයක් ආරම්භ කොට තිබේ. උපවාසය ආරම්භ කොට ඇත්තේ කම්කරු රැකියාවක් කරන ජගත් මහේන්ද්‍ර ලයනල් නම් එක්දරු පියෙකි.

මොහු 24 වැනිදා දහවල් ගලේවෙල කුඩාවැව ප්‍රදේශයට පැමිණ අධිබලැති විදුලි රැහැන් ඇදි අඩි 150ක් පමණ උස කණුවක් මත නැඟ සිය විරෝධය ආරම්භ කොට ඇත.

මෙදින රාත්‍රිය කණුව මතම සිටිමින් උදෑසන ද ඔහු ඒ මත තවමත් රැඳී සිටී. උපවාසය කරන පුද්ගලයාගේ පියා පැවැසුවේ ඔහුගේ වයස අවුරුදු 15ක දියණිය තරුණයකු සමඟ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය.

ඒ අනුව මෙම පියා ගල්කිරියාගම පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. දියණිය සෙවීමේ කටයුතු පොලිසිය මඟහරින බවට ඔහු චෝදනා කරන බවත් තම දියණිය සොයා දෙන තුරු ඔහු මෙම උපවාසය අත්නොහරින බවට පැවැසූ බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් ගල්කිරියාගම පොලිසිය 24 වැනිදා පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ ඊයේ (25දා) දිනයේදී දියණිය සෙවීමේ කටයුතු කරන බව ප්‍රකාශ කළ ද තම උපවාසය අත්නොහරින බව මෙම පුද්ගලයා සඳහන් කළේය.

මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසියෙන් විමසීමේදී එහි උසස් නිලධාරියෙක් පැවැසුවේ පැමිණිල්ල ලැබුණු මොහොතේ සිට මෙම දැරිය සෙවීමේ සියලු කටයුතු රාජකාරි මට්ටමින් වෙමින් පවතින බවය.

දඹුල්ල – කේ.කේ. ආරියදාස