චන්දිගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් වෙයි

0
12

ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ සිට..

ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ ඊයේ (24දා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා සිටියේය.

එහිදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී  ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස තම ටෙස්ට් දිවියේ 24 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 80ක් රැස්කර ගත්තේය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරණාරත්න තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා සමඟ පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 92ක් දක්වා වේගයෙන් ඉහළට රැගෙන ආවේය. එම ලකුණු ප්‍රමාණයෙන් වැඩි දායකත්වයක් එනම් ලකුණු 50ක් ලැබු ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවාස්ට හැකිවූයේ කඩුලු රකින මොහොමඩ් රිෂ්වාන් උඩපන්දුවක් ලබාගැනීම හේතුවෙනි. විනාඩි 104ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 70කට මුහුණ දී හතර් පහර 4ක් හා හයේ පහර තුනක් සමඟින් ඕෂධ ප්‍රනාන්දු ලැබූ අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 7වැනි අර්ධ ශතකය මෙන්ම ටෙස්ට් දිවියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමටද ඔහුට හැකියාව ලැබිණි.

ඕෂධ ප්‍රනාන්දුගේ දැවී යෑමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට එක් වුණද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුනට එක්කිරීමට හැකි වූයේ ලකුණු 4ක් පමණි. ලකුණු 3ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දවාගත් අගා සල්මාන් ශ්‍රී ලංකා පිලට පීඩනයක් එල්ල කළේය.   අනතුරුව 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මැතිව්ස් ශ්‍රී ලංකා නායකයාට එක්වුණද තෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 24කට සීමා වූයේ ලකුණු 40ක් ලබා සිටි ශ්‍රී ලංකා නායකයා යසීර් ෂාගේ පන්දුවක් හමුවේ දැවී ගිය බැවිනි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව මැතිව්ස්ට එක් වූ දිනේෂ් චන්දිමාල් වැටී සිටි ශ්‍රී ලංකා ඉනිම සෙමින් සෙමින් පිළිසකර කළේය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් එක්වෙද්දී නවුමාන්ගේ පන්දුවකට රිෂ්වාන් අතට උඩපන්දුවක් ලබාදී මැතිව්ස් ලකුණු 42කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 195ක් ලෙස දැක්විණි.

ඉන් අනතුරුව ශ්‍රී  ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් ලකුණු80ක් රැස්කරගෙන සිටි චන්දිමාල් නවාස් හමුවේ දැවී ගියේය. පන්දු 137කදී ක්‍රියාත්මක වූ චන්දිමාල්ගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. එමෙන්ම 5 වැනි කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් සහ ධනංජවය ද සිල්වා ලකුණු 61ක් රැස්කර තිබීම කැපී පෙනිණි.

කෙසේ නමුත් දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟින් ලකුණු 33ක් ලබා සිට ධනංජය නැවතත් ක්‍රීඩා ගාරය වෙත හරවා යැවීමට නශීම් ෂාට හැකියාව ලැබිණි.

ඒ අනුව අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන අවස්ථාව වන විට නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් සහ තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ ලකුණු 6ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම

ඕෂධ ප්‍රනාන්දු ඇ.රිෂ්වාන් ප. නවාස්           50

දිමුත් කරුණාරත්න ඇ. නෂීම් ෂා ප. යසීර්    40

කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගියා     03

ඇන්ජිලෝ මැතිව්ස් ඇ.රිෂ්මාන් ප. නවුමාන් 42

දිනේෂ් චන්දිමාල් ඇ. අලාම් ප. නවාස්        80

ධනංජය ද සිල්වා ප. නසීම්            22

නිරෝෂන් දික්වැල්ල නොදැවී       42

දුනිත් වෙල්ලාලගේ නොදැවී         06

අතිරේක            19

මුළු ලකුණු (පන්දුවාර 86කදී  කඩුලු 6කට) 315

කඩුලු වැටීම _ 1-92, 2-96, 3-120, 4-195, 5-258, 6-290

පන්දු යැවීම –  යසීර් ෂා 18-1-67-1, හසන් අලී 12-3-45-0, නශීම් ෂා 12-3-34-1, නවුමාන් අලී 21-2-64-1, අගා සල්මාන් 6-0-25-0, මොහොමඩ් නවාස් 17-2-71-2

විචිත්‍ර වීරසිංහ