ගරාජ් හිමියාගේ මරණයට සැක පුතා අත්අඩංගුවට

0
13

හලාවත කුරුණෑගල ප්‍රදේශයේ නිවෙසක ගරාජයක් තුළ සිදුව ඇති අබිරහස් මරණය සම්බන්ධයෙන් හලාවත අතිරේක මහෙස්ත්‍රාත් කේ. ශසිතද සිල්වා මහතා විසින් 23 වැනිදා කළ ස්ථානීය පරීක්ෂණයකදී එම මාෘත ශරීරය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් කර එහි වාර්තාවක් හා මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හලාවත පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මෙම ඝාතනයට සැකපිට මියගිය අයගේ බාල පුත්‍රයා 38 හැවිරිදි දෙදරු පියකු හලාවත පොලිසිය විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත, කුරුණෑගල පාරේ වඳුරාගලවත්ත, ලියදහගමගේ විජේදාස නමැති 72 හැවිරිදි සිවුදරු පියෙකි.

මරණකරු වෘත්තියෙන් මෝටර් කාර්මිකයකු වන අතර ඔහුගේ මෘත ශරීරය එම ගරාජයේම කාමරයක තිබී හමු වී ඇති බවත් පොලිසිය පැවැසීය.

මියගිය අයගේ දරුවකු නිවෙසට පැමිණි අවස්ථාවේ තම පියා ගරාජ කාමරයේ වැටී සිටිනු දැක පොලිසියට දැන්වීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ හලාවත පොලිසිය මරණකරුගේ බාල පුතා සිද්ධිය සිදුවූ (22දා) තම පියා පදිංචි නිවෙසට පැමිණ බහින්බස් වීමකින් අනතුරුව නිවෙසින් පිටව ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව සැකකරු මහෙස්ත්‍රාත් නියෝග ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් රෝහිත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් කළුබෝවිල (51745) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.  

වීහේණ අනුරාධ