කලාවැව ජාතික උයනේ නීල ඇතා කැකිරාවේදී වගා ළිඳකට වැටිලා

0
29

කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ප්‍රධානම ඇත් පවුලෙන් එකෙක් ලෙස සැලකෙන නීල හස්තියා ඉකුත්දා (23දා) රාත්‍රි කැකිරාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී ඇත. පසුව වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව ළිඳට වැටුණු හස්තියා පෙරේදා (24දා) නිරුපද්‍රිතව ගොඩට ගෙන ඇත.

හස්තියා ඇදවැටී ඇත්තේ කැකිරාව නගරයෙන් අනුරාධපුර දෙසට වන ප්‍රධාන ඒ 9 මාර්ගයේ ඔළුකරඳ ප්‍රදේශයේදී නිවෙසක් පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳකටයි. වනජීවී නිලධාරීන් පවසන අන්දමට කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පරපුරේ සිටින ඇතුන්ගෙන් එකෙක් ලෙස සැලකෙන මෙම නීල හස්තියාගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි. හස්තියාගේ උස අඩි හතහමාරත් අටත් අතර වන අලංකාර දළ යුගලක් ඇත්තෙකි. කිසිවකුටත් හානි නොකරන අහිංසක සත්ත්වයකු බවද පැවැසේ.

පෙරේදා (24දා) රාත්‍රියේ නීල හස්තියා කලාවැව ජාතික උද්‍යානයේ සිට රිටිගල රක්ෂිතය පෙදෙසට යමින් සිටියදී මෙලෙස වගා ළිඳට ඇදවැටී තිබේ. පසුව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්, කැකිරාව පොලිස් නිලධාරීන් සහ ඔළුකරඳ ගම්වාසීන් එක්ව ඊයේ (25දා) උදෑසන සිට සවස් වනතෙක්ම මහත් පරිශ්‍රමයක් දරා ජේසිබී යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් ළිඳ කපා නීල හස්තියා නිරුපද්‍රිතව ගොඩගෙන රිටිගල රක්ෂිතය පෙදෙසට පලවා හැර තිබේ.

කලාවැව – ප්‍රදීප් රණසිංහ