කරාතේ දෝ ක්‍රීඩක-ක්‍රීඩකයන්ගේ පොදුරද මඬුුලු ගමන නැවතෙන ලකුණු

0
12

ශ්‍රී  ලංකාව තුළ වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව ඇති ශ්‍රී  ලංකා කරාතේ දෝ කණ්ඩායමට එම තරගාවලිය සඳහා සහභාගි කරවීම දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ‘මව්බිම’ට වාර්තා වේ.

මෙහිදී අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි කරවීම සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනයට අසීරු වී තිබීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවද සඳහන්ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 6,7 සහ 8 යන දිනයන්හිදී එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී  ලංකාව කණ්ඩායමක් මේ සඳහා එක්වීමට නියමිතව ඇත.

අදාළ කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය ලබා ඇති පසුබිමක ඔවුන් මෙම තරගාවලියට සහභාගි කරවීම සඳහා ගුවන් ටිකට්පත්, වීසා බලපත්‍ර ඇතුළු වියදම් දැරීම ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනයට අසීරු තත්ත්වයක් ඇතිව තිබේ. එමෙන්ම ක්‍රීඩාව කරවන බලධාරීන් ද මෙම කරුණ සම්බන්ධයෙන් මුනිවත රැකීම හමුවේ මෙම තතත්වය තවදුරටත් තීව්ර වී ඇති බවද දැනගන්නට ඇත.

මෙහිදී ගුවන් ටිකට්පත් ගාස්තු පසුගිය කාලයේදී විශාල මුදලකින් වැඩි වී තිබීමත් සමඟින් එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදලක් වැයවන අතරම වීසා බලපත්‍රය වෙනුවෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වන බවද දැනගන්නට ඇත. මෙහිදී ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන එක් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට වැය කිරීමට සිදුවන බවද සඳහන්ය. ඒ අනුව ක්‍රීඩා බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් නොමැතිව කරාතේ බලධාරීන්ට මෙවන් විශාල මුදලක් සොයා ගැනීමට නොහැකි වීම තුළ අදාළ තරගාවලියට සහභාගි වීමට නියමිතව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ මව්පියන් පමණක් නොව ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලනය ද විශාල අසීරුතාවයකට මේ වන විට මුහුණපා ඇති බවද ‘මව්බිම’ට වාර්තා වේ.

කෙසේ වෙතත් මෙයට පෙර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරගාවලින්හිදී ඉහළ දස්කම් දක්වමින් පදක්කම් රැසක් දිනාගත් ශ්‍රී  ලංකා කණ්ඩායම අදාළ තරගාවලිය සඳහා එක්කිරීම අවිනිශ්චිතව පවතී.

එපමණක් නොව වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී  ලංකා කරාතේ දෝ කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉරාන ජාතික විශේෂඥ පුහුණුකරුවාගේ සේවය අහිමිව තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ක්‍රීඩා බලධාරීන් සමඟින් පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පුහුණුකරුවාට අදාළ වේතනය ගෙවා ගැනීමට නොහැකි බවට බලධාරීන් සඳහන් කරමින් ඔහුව නැවතත් සිය මව්රට බලා හරවා යැවීමට ද පසුගියදා කටයුතු කරනු ලැබීය.

ගමිත දෙහිපිටිය