කරන්ට් ගියොත් හදන්න එන්න ලංවිමට ඉන්ධන නෑලු

0
12

විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට යෑම සඳහා ඉන්ධන නොමැති වීමෙන් විදුලි පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති. පස්ගොඩ විදුලි පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට අයත් ප්‍රදේශවල හදිසි විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ සේවකයන් කටයුතු නොකිරීමෙන් විදුලිය බිඳ වැටීම් සිදුව ඇති ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිතයද මේ වනවිට අඩාල වී ඇත.

පහළ කීරිපිටිය, දුම්මලගහහේන, නව ගම්මානය යන ගම්මානවලට විදුලිය විසන්ධි වී දැනට සතියකට ආසන්නව ඇතත් මෙතෙක් එම ගම්මානවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පස්ගොඩ විදුලි පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ සේවකයන් කටයුතු නොකිරීම හේතුවෙන් පවුල් 300කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති. එම ගම්මානවල ජල මෝටර් භාවිත කර ජලය ලබා ගන්නා පවුල්ද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ජලය ලබා ගැනීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටියි.

එම ප්‍රදේශයේ මාර්ගගත අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවට මවුපියෝ පවසති. වඩු කාර්මිකයන්, සිමෙන්ති, ගඩොල් නිෂ්පාදකයන්, ඇඳුම් මැසීම ඇතුළු ස්වයං රැකියාවල නියුතු පිරිසද සතියකට ආසන්න කාලයක් විදුලිය නොමැතිකමින් තම ජීවනෝපාය අහිමි වී සිටිති.

අලකොළදෙණිය, හුලංකන්ද යන ගම්මානවල පවුල් සියයකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී තිබූ අතර දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවලද විදුලිය යථා තත්ත්වයට පත් නොකිරීම හේතුවෙන් ඔවුහුද පීඩාවට පත්ව සිටිති. රාත්‍රියට කුප්පි ලාම්පුවක් හෝ දල්වා ගැනීමට භූමිතෙල් නොමැති බවත් ඉටිපන්දම් මිලත් අධික බැවින් රාත්‍රි කාලයට කළුවරේ සිටීමට සිදුව ඇති බවත් වේලාසනින් රාත්‍රි ආහාර ගැනීමට සිදුව ඇති බවට ඔවුහු පවසති. මේ හේතුවෙන් කුඩා දරුවන් දැඩි පීඩාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයද විදුලිය නොමැතිකමින් බිඳ වැටෙමින් ඇත.

විදුලිය විසන්ධි වූ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් බිඳ වැටීම දැනුම් දිය යුතු සෑම තැනකටම දැනුම් දී ඇතත් මෙතෙක් යථා තත්ත්වයට පත් නොකළ බවට ඔවුහු චෝදනා කරති. විදුලි පාරිභෝගිකයන්ගේ මේ චෝදනාව පිළිබඳව හා විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් නොකිරීම පිළිබඳව පස්ගොඩ විදුලි පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ ඩීසල් නොමැති බැවින් විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට යෑමට හැකියාවක් නොමැති බවත් ඩීසල් ලබාදුන් අවස්ථාවක බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන බවත්ය.

විදුලිබල මණ්ඩලයේ වාහන සඳහා ලබාදෙන ඩීසල් ඇද, වැඩි මිලට වෙනත් පුද්ගලයන් සඳහා විකුණන බවත් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් ලැබුණු අවස්ථාවලදී විදුලිබල මණ්ඩලයේ වාහන සඳහා ඩීසල් දෙන බවත් එසේ තිබියදීත් වාහන සඳහා ඩීසල් නොමැති බවට පැවැසීම පිළිගත නොහැකි බවටත් විදුලි පාරිභෝගිකයෝ පවසති.

ඌරුබොක්ක – අතාවුද පතිරණ