කබ්රාල්ගේ විදෙස් ගමන් යළි ඔක්තෝබර් දක්වා තහනම්

0
15

ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයගේ එම විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් මස 26 වැනි දින දක්වා  දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25දා) නියෝග කළේය.

බැ¾දුම්කර වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නියෝග නිකුත් කෙරිණි.

හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

දකුණු හා මධ්‍යම පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ හා දැනට සමාජ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කරන රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන් යන අය විසින් දිවුරුම් ප්‍රකාශයක් මත ඒ සම්බන්ධව පෞද්ගලික නඩුකරයක් අධිකරණය හමුවේ මීට පෙර ගොනුකර තිබිණි.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපති වන අජිත් නිවාඩ් කබ්රාල් යන අය සාපරාධි විශ්වාසය කඩ කිරීම (ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තිය), බැංකුකරුවකු විසින් සිදු කරනු ලබන සාපරාධී විශ්වාසය කඩ කිරීම, මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ වරදක් කර ඇති බවට එම පැමිණිල්ල මෙලෙස දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

හංසි නානායක්කාර