කනකර උකස් කර අපි වගා කළ කුඹුරට පොහොර දෙන්නේ නෑ

0
12

සියලු කනකර උකස් කර ණය වී මෙවර යල කන්නයේ වගා කරන ලද බලපත්‍ර සහිත අක්කර තුනකින් යුත් තම කුඹුරු ඉඩම් සඳහා නියමිත යූරියා පොහොර මිටි දෙක ලබා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා ගොවි සංවිධානයෙන් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි මහවැලි බී කලාපයේ අරලගංවිල යාය 8 අංක 41 දේවගල ලිපිනයේ පදිංචි සරත් බණ්ඩාර (55) ගොවි මහතා පැවැසීය.

තමන් හදවත් රෝගියකු නිසා තමන්ගේ බිරිය අදාළ යූරියා පොහොර මිටි දෙක ලබා ගැනීමට සියලු ලියකියවිලි ගෙන ගොවි සංවිධානයට මෙන්ම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා සහ සෑම බලධාරියකු මුණගැසීමට ගියද තමන්ට හිමි යූරියා පොහොර මිටි දෙක නොලැබුණු බවද ඔහු කියයි.  සරත් බණ්ඩාර මහතාගේ බිරිය වන පනස්පස් වියැති ඒ.එම්. ස්වර්ණලතා මහත්මිය සඳහන් කළේ, තම ස්වාමියා හදවත් රෝගියකු නිසා තමන් දුක් මහන්සි වී කුඹුරු වගා කළ බවයි. පෝර මිටි ලබා ගැනීම සඳහා ගොවි සංවිධානයට මුදල් ලබාදීමට ගිය විටදී තමන්ට එම කුඹුරේ අයිතිය නැති බව පවසමින් මුදල් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඇය කීවාය.

කුඹුරට යූරියා පොහොර මිටි දෙක ලබානොදීම හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටින ස්වාමියා පස් වතාවක්ම වසපානය කිරීමට උත්සාහ දරා තිබෙන බවත් ඔහුගේ ජීවිතයට හානියක් කර ගැනීමට පෙර තම වී වගාව බේරා ගැනීමට අදාළ යූරියා පොහොර මිටි දෙක  ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙසද ඇය ඉල්ලීමක් කළාය. මාදුරුතැන්න කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ජී. ජයසූරිය මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ ගත්තද එය අසාර්ථක විය. පසුව අප පොළොන්නරුව ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් අරුණ විජයකෝන් මහතාගෙන් මේ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙවර යූරියා පොහොර ලබාදීමේදී කුඹුරේ අයිතිය තහවුරු කිරීම අදාළ නොවන බවත් ඒ මොහොතේ වී වගාව කරන ගොවි මහතාට අනිවාර්යෙන්ම යූරියා පොහොර මිටි දෙක ලබාදීම කළ යුතු බවයි.

පොළොන්නරුව ගොවිජන සංවර්ධන කොමසාරිස් මහතාගේ පණිවිඩයට අනුව අරලගංවිල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී අප අමතමින් පැවැසුවේ, වී වගාවට සඳහා යූරියා පොහොර ලබා ගැනීමට පසු උරුමයක් අවශ්‍ය නොමැති බවත් ඒ මොහොතේ වී වගා කරන ගොවියාට පොහොර ලබාදීමට කටයුතු කරන බවත්ය. අදාළ ගොවි මහතාගේ වසමේ දිසානායක නමින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු නොමැති බවත් මුදල් බැඳිය යුත්තේ ගොවි සංවිධානයට බවත් එවැනි ගොවි මහතකු තමන් මුණගැසීමට නොපැමිණි බවත් පුවත්පතට ප්‍රකාශයක් ලබාදීමෙන් පොහොර ලබාගැනීමට නොහැකි බවත් පවසා ඇත.  

මනම්පිටිය – නිමල් ජයරත්න