එන්න පැටලෙන්න පැටලිලා අදහන්න

0
74

මේ දවස්වල බොහෝ දෙනා අතරේ ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ වුණ මාතෘකාවක් තමයි ස්පැගටි ධර්මය කියන්නෙ. බහුතරයකට ස්පැගටි දහම පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් නොමැතිකම නිසා මේ වන විට එම දහම අපහාසයට සහ උපහාසයට ලක්වීම සමාජ මාධ්‍ය භාවිත කරන ඔබට සහ මට නොඅඩුවම දකින්න පුළුවන්.

මෙ වන විට ලෝකය පුරා ව්‍යාප්ත ආගම් යටතට ගැනෙන තවත් එක ආගමක් විධියට ස්පැගටි ධර්මය හැඳින්වීම වඩාත් සුදුසුයි. ස්පැගටි ධර්මයේ ආරම්භය පිළිබඳ සැලකීමේදී, මෙය 21 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූවක්. 2005 වර්ෂයේ ජනවාරී මාසයේදී ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියකු වන 24 හැවිරිදි බොබී හෙන්ඩර්සන් flying spaghetti monster සම්බන්ධව සටහන් වුණ විවෘත ලිපියක් කැන්සාස් ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් යම් විරෝධයක් දැක්වීම අරමුණු කොටගෙන.

ඔහු සඳහන් කරන ආකාරයට මේ විශ්වය මවා ඇත්තේ ස්පැගටි monster (රාක්ෂයා) එසේත් නැති නම් ස්පැගටි දෙවියන් විසින් ඔහු තවදුරටත් විස්තරාත්මකව මේ පිළිබඳ දක්වනු ලබන්නේ බොහෝ සෙයින් මත් වී උන් ස්පැගටි දෙවියන් පළමුව මෙම විශ්වය මවා ඉන් අනතුරුව තමන්ගේ මුල්ම අනුගාමිකයන් වශයෙන් monster එනම් මුහුදු මංකොල්ලකරුවන් මවා ඇති බව. ස්පැගටි දෙවියන් යනු ස්පැගටි නම් වූ නූඩ්ල්ස් වර්ගයෙන් සැදුම්ලත් මීට් බෝල් දෙකක් අක්ෂීන් ලෙස පිහිටි කෙනකුන් බව හෙන්ඩර්සන්ගේ විශ්වාසයයි.

එසේම හෙන්ඩර්සන් නිතරම මතුකිරීමට උත්සාහ කළ කරුණ නම් ඔහුට දෙවියන් වහන්සේ සමඟ හෝ ආගම සමඟ හෝ කිනම් ගැටලුවක්වත් නොමැති බව සහ ඔහුට පවතින ගැටලුව වන්නේ ආගම විද්‍යාව ලෙස හැඳින්වීම බවයි.

2006 වර්ෂයේදී හෙන්ඩර්සන් විසින් The Gospel Of The Flying Spaghetti Monster නම් වූ පොතක් රචනා කළ අතර මේ වන විට එය ස්පැගටි දහමෙ අත්පොත ලෙස සලකනු ලබනවා.

ස්පැගටි දහම ආහාර පිළිබඳ පදනම්ව ගොඩනැඟුණු දහමක් බව ආගමේ නාමයෙන් සහ ආගම සම්බන්ධ සියලු දේහි නම්වලින් මනාව පැහැදිලි වෙනවා. මෙම ආගමට අනුව ආහාර අනුභව කිරීම හොඳ වන අතර ආහාර ඉවත දැමීම නොහොඳය. ගස් ගල් පිළිම හෝ අධිභෞතික වස්තූන් උදෙසා ආහාර පුද පූජා පැවැත්වීම අකැපයි. ස්පැගටි දහම අදහන්නේ නම් ඔබේ කුස කිසිදු මොහොතක හිස් වන්නට ස්පැගටි දෙවියන් ඉඩක් නොතබයි. අවැසි තරමට ආහාර අනුභව කොට ආහාර නොමැති භෞතික ලොව වන ඕනෑම කෙනකුට ඉතිරි ආහාර ලබාදීම ස්පැගටි දහමට අනුව හොඳයි.

මෙම ස්පැගටි දහම අනුගමන කරන භක්තිකයන් හඳුන්වන්නේ පැස්ටාෆාරියානුවන් ලෙස. පැස්ටා පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා කොලැන්ඩරයක් හිසේ නවාගෙන සිටීම මඟින් තමා තමන් පැස්ටාෆාරියානුවෙක්ය යන අනන්‍යතාව ලබා දෙන්නේ. ඒ වගෙම තමයි මේ වනවිට එලෙස පැස්ටා කොලැන්ඩරයක් හිසේ නවාගෙන ගන්නා ලද ඡායාරූපය සමඟ ආගමික හැඳුනුම්පත නිර්මාණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. පැස්ටාෆාරියානුවන්ට අනුව ඔවුන් මරණින් මතු ස්වර්ගස් වන්නේ නම් එහිදී ඔවුනට ගණිකාවන් සහ බීර පිරවූ ගිනිකන්දක් ලැබෙන බවත්, නිරයට යෑමට සිදුවන්නේ නම් කල් පැනගිය බීර පිරවුණු ගිනිකන්දක් සහ ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය වෙන කාන්තාවන් හමුවන බවත් ඔවුන් විශ්වාස කරනවා.

පැස්ටාෆාරියානුවන් ජාත්‍යන්තර මුහුදු මංකොල්ලකරුවන් ලෙස සැමරීමේ දිනය සැප්තැම්බර් 19 වැනි දිනට යෙදී තිබෙනවා. සෑම සිකුරාදා දිනයක්ම පැස්ටාෆාරියානුවන්ට අනුව නිවාඩු දිනයක් වන් අතර ඒ දිනවල ඔවුන් යාඥා කටයුතුවල යෙදෙනවා. එහිදී යාඥා අවසානයේදී රාමේන් යනුවෙන් ප්‍රකාශ කර තමා එම ආගමට දක්වන එකඟ බව ප්‍රකාශ කරනු ලබනවා. (රාමේන් යනු කොරියාවේ සහ ජපානයේ ප්‍රචලිත නූඩ්ල්ස් වර්ගයකි) මීට අමතරව pastover දිනයන් මොවුන්ගේ විශේෂ නිවාඩු දිනයන් වන අතර එදින සැමරීම සඳහා පැස්ටා විශාල ප්‍රමාණයක් අනුභව කිරීම අනිවාර්ය වෙනවා.

එසේම ramendan ලෙස වෙන් වූ කාලසීමාවක් පවතින අතර ඒ කාලයේදී ස්පැගටි ආගමිකයන්ට අනුභව කළ හැක්කේ රාමේන් පමණයි.

ස්පැගටි දහම තුළ ඇති පැස්ටාෆාරියන්වාදයේ ආඥා අටක් දක්වා තිබෙනවා.

“මෙය කිරීම උචිතය, මෙය කිරීම අනුචිතය” ලෙස විවිධ සම්මතයන් ඔවුහු ඒ තුළ විස්තර කොට තිබෙනවා .

1. ඔබ මාගේ මැකරෝනි වරප්‍රසාදය (ක්‍රිස්තියානි ආගමේ බෞතීස්ම කිරීම වැනි දෙයක්) දේශනා කරන විට බූරුවකු හා සාන්තුවරයකු ලෙස නොසිටීම හොඳය.

2. අනෙකාගේ හිංසනය, වහල්භාවය, සුනුවිසුනු කිරීම හෝ ආර්ථික වශයෙන් සූරාකෑම ඔබ සාධාරණීකරණය නොකරන්නේ නම් හොඳය.

3. මිනිසුන්ගේ ඇඳුම, පෙනුම හෝ කතා කරන විලාසය අනුව ඔබ ඔවුන් විනිශ්චය නොකරන්නේ නම් හොඳය.

4. ඔබට හෝ ඔබේ ස්වේච්ඡා සහ අවංක හවුල්කරුට පිළිගත නොහැකි ක්‍රියාවන්ට ඔබ ඉඩ නොතබන්නේ නම් හොඳය. (මෙයින් දක්වන්නේ පිළිගත හැකි වයසට හා මානසික පරිණතභාවයට පත් වූ පසු සුදුසු ජීවන සහකරුවකු තෝරා ගැනීම පිළිබඳවය)

5. හිස් බඩක් මත ඔබ වටා සිටින අයගේ උමතු ස්ත්‍රී පුරුෂ විරෝධී හා වෙනත් නපුරු සිතුවිලිවලට එරෙහිව සටන් නොකිරීම හොඳය. කාලා එවුන් අබියසට යන්න.

6. මගේ පැස්ටා කරුණාව උත්කර්ෂයට නැංවීමේ නාමයෙන් පන්සල් පල්ලි සොහොන් ඉදිකිරීම සඳහා ඔබ විශාල මුදලක් වැය නොකරන්නේ නම් හොඳය. මන්ද මුදල් ඉක්මනින් වැ‍ය වන බැවින් එය උචිත කුමකට දැයි තෝරන්න.

* දුප්පත්කම තුරන් කිරීම.

* රෝග සුව කිරීම.

* සාමකාමී ජීවිතයක් වැනි ජීවිතයේ සරල ප්‍රීතිය සඳහා මුදල් වැය කරනවා නම් හොඳය.

7. මම ඔබට කතා කළ ආකාරය අවට සිටිනවුන්ට නොකියා සිටීම හොඳය. ඔබ ගැන පමණක් සිතීම නවත්වා ඔබේ අසල්වැසියාට ආදරය කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටින බව මතක තබා ගන්න.

8. රබර් කොපුවක් හෝ පෙට්‍රෝලියම් ජෙලි විශාල ප්‍රමාණයක් ගැන කතා කරන විට ඔබ අන් අයට සලකන ලෙසට ඔවුන් ඔබට නොසලකන්නේ නම් හොඳය. හතරවැනි ආඥාවට අනුව එම පාර්ශ්වය එකඟ නම් ස්වර්ගය උදෙසා කොන්ඩමයක් පැලඳ ගන්න, එය රබර් කැබැල්ලක් පමණි.

මෙම ආඥා අට පිළිබඳ හෙන්ඩර්සන් විසින් රචිත ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ස්පැගටි ධර්මයේ පූජකයන් කාබොනාරා යන නාමයෙන් හ¾දුන්වනු ලබනවා. එසේම ස්පැගටි පූජකයන්ට විවාහ වීම, විවාහ කිහිපයක් සිදුකර ගැනීම සහ එකගෙයි කෑම වැනි චාරිත්‍ර සඳහාද කිසිදු බාධාවක් පනවා නැහැ. එසේම සමලිංගිකත්වය පවක් ලෙස නොදක්වන මෙම ස්පැගටි දහමේ සමලිංගික අය සඳහා වෙනම නිරයක් සහ ස්වර්ගයක් මවා තිබෙනවා. හෙන්ඩර්සන් දක්වන පරිදි ඔහුගේ මෙම සංකල්ප නිර්මාණය සඳහා හේතුවී ඇත්තේ යම් යම් ආගම්වල පවතින සංකල්ප හා මතවාද හාස්‍යයට ලක් කිරීම මෙන්ම, පදනම් විරහිත එහෙත් සමාජය තුළ යල් බැසගෙන පවතින විවිධ ආගම් තුළින් සමාජයට වන පරිහානිය පිළිබඳ දැනුවත්භාවයෙන් යුතු පිරිසක් ගොඩනැඟීමට.

මීට වසර තුනකට හතරකට පෙර ලංකාවට සංක්‍රමණය වන ස්පැගටි ධර්මය සමාජ මාධ්‍ය හරහා ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමට පටන් ගත් අතර ලංකාව තුළ ස්පැගටි රජමහා දේවස්ථාන කොළඹ, ගාල්ල, අනුරාධපුර, නුවරඑළිය, කිලිනොච්චිය යන ප්‍රදේශවල ස්ථාපිත වී තිබෙනවා.

ලංකාව තුළ ව්‍යාප්ත වන ස්පැගටි ධර්මයේ ටෝටිලා නම් ඩයිනෝසරයකුගේ හැඩ ගත් යක්ෂයෙක් පිළිබඳ සඳහන් වුවත් ඒ බව හෙන්ඩර්සන්ගේ ධර්මය තුළ නොපවතින බවයි ඇතමකුගේ මතය. ලාංකික මිථ්‍යා මතවාද සහ පාරභෞතික සංකල්ප ප්‍රතික්ෂේප කිරීමට තමයි ටෝටිලා කියන යක්ෂයා නිර්මාණය වුණා කියල සලකන්නේ. තවත් පිරිසකගේ විශ්වාසය නම් ස්පැගටි දෙවියන්ගේ යහළුවකු වූ ටෝටිලා ස්පැගටි දෙවියන් සමඟ ඊරිසියාවෙන් පෙළෙන බවයි. ඒවගෙම තමයි සමහර ඉගැන්වීම් දහම් කරුණු වගේ ඇතැම් දේවල්වලදි කුඩා කුඩා වෙනස්කම් දකින්නත් පුළුවන් වෙනවා.

බොහෝ පිරිසක් වරදවා වටහාගත් පරිදි මෙය තවත් එක මිථ්‍යාදෘෂ්ටික ආගමක් හෝ මතවාදයක් නොවන අතර මේ තුළින් විවිධ ආගම් වෙත අන්ධ භක්තියෙන් ඇලී ගැලී සිටින පිරිස් වෙත සෘජු කනේ පහරක් එල්ල කිරීමට අපේක්ෂා කරනවා.

ඔබ බියර් ඉල් මැඩෙයිරා බොනවද?

වහාම එන්න!

අපේ සත්‍ය විශ්වාසය

මේක නම් නියමයි!

පැස්ටා පැස්ටා පැස්ටා

පැස්‍ටා සහ මස් බෝල්

අපේ විශ්වාසය සුරක්ෂිතයි

ඇඳේ සිටින බිරියක් මෙන්.

ඔබට ස්පැගටි දිව්‍ය රාජයාණන්ගේ පිහිටයි. රාමේන්!

පවනි වාසනා