එක් අහඹු හමුවීමක් ! එය සදාකාලික මතකයක්!

0
64

මම විශ්වාස කරන විදිහට ජීවිතේ හැම මුණගැසීමක්ම 100%ක් අහඹු මුණගැසීමක්. අපි කිසිම මුණගැසීමක් සැලසුම් කරලා කරන දෙයක් නෙවෙයි. උදාහරණයක් විදියට  මගේ අම්මවයි තාත්තවයි මට මුණගැහෙන්න ඕනේ කියලා මම කලින් සැලසුම් කළේ නැහැ. සැලසුම් කරන්නත් බෑ. ඒ හමුවීම සිද්ධ වුණේ අහඹු විදිහට. අම්මව සහ තාත්තාව අපිට හම්බවෙන්නෙත් අහඹු විදිහට නම් අනිත් මුණගැසීම් මොන තරම් අහඹුයිද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

අපේ ජීවිතය පුරාවට අපිට මොන තරම් මිනිසුන් ප්‍රමාණයක් මුණගැහෙනවාද? විවිධ මානසික මට්ටම්වල ඉන්න, විවිධ වර්ගයේ මිනිසුන් විවිධ අවශ්‍යතාවලට, විවිධ අවස්ථාවලදී අපිට මුණගැහෙනවා. ඒ  හැම මුණගැසීමක්ම සොඳුරු මුණගැසීමක් වෙන්නෙ නෑ. ඒ  හමුවෙන අය විවිධාකාරයි. ඇමරිකාවේ කරපු පරීක්ෂණයකට අනුව සාමාන්‍ය පුද්ගලයන්ගේ ජීවිත කාලය තුළ ඔහුට මිනිසුන් 10,000ක් වත් මුණගැහෙනවා. ඒත් දකුණු ආසියානු කලාපයට ආවොත් … විශේෂයෙන්ම ශ්‍රී  ලංකාව වගේ රටකට ආවොත්, අපේ තියෙන සමාජීය සංස්කෘතික සුහද බවත් එක්ක අපේ ජීවිත කාලය තුළ මිනිසුන් 15,000 18,000ත් අතර ප්‍රමාණයක් මුණගැහෙනවයි කියලා තමයි මම හිතන්නෙ. මෙතැනදී මම මේ අදහස් කරන්නේ මුහුණට මුහුණ හමුවී හෝ හමු නොවී එක වචනයක්වත් කතා කරපු පිරිස සහ සන්නිවේදන ක්‍රම ඔස්සේ වචනයක්වත් බඥයබ කරමින් හමු වූ පිරිස ගැන. සමහර කෙනෙක්ට මේ මුණගැහෙන පිරිස 20,000 – 25,000ත්් අතර වෙන්නත් පුළුවන්.

මේ හමුවීම වෘත්තීය හමුවීම්, පෞද්ගලික හමුවීම්, නීත්‍යනුකූල හමුවීම් …… ඒ විතරක් නෙවෙයි සුන්දර අතිශය අහඹු, අනියම්, රහස්, වේදනාකාරී ජීවිතය වෙනස් කරපු හමුවීම් ඕන තරම් ඇති. සමහර හමුවීම් නිසා ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම යහපත් සුන්දර පැත්තකට වෙනස් වෙන්න ඇති. ඒත් තවත් සමහර හමුවීම් නිසා ඔබගේ ජීවිතය බින්දුවම වැටිලා විනාශ වෙන්නත් ඇති. ඔව් … හමුවීම් ඒ වගේ තමයි. ඒත් ඒ කිසිම හමුවීමකට චෝදනා කරන්න එපා. ඔබේ ජීවිතයේ ඔබට හමුවෙන දහස් ගණනක් අය ඔබට විවිධ දේවල් කියලා දෙනවා. විවිධ අත්දැකීම් ලබා දෙනවා. ඒ දේවල් ඔබේ ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත්. සමාජීය ජීවිතය සාර්ථක කරගන්න ඒ දේවල් පුදුම විදිහට බලපානවා.

ඔබේ ජීවිතේ ඔබට මුණගැහෙන යහපත් මිනිසුන් ඔබව සතුටට පත් කරනවා. සමහර විට ඔබ විවාහ වෙලා ඉන්නේ ඒ වගේ එකෙක් එක්ක වෙන්න පුළුවන්. ඔබ ළඟින්ම ඉන්න මිතුරන්, ඔබේ දුකේදී ඔබට පිහිට වෙන අය, ඔබ ගැන උනන්දු වෙන අය, ඔබ ගැන සොයා බලන අය යහපත් හමුවීම් විදිහට කියන්න පුළුවන්. ඒ අය නිසා ඔබේ ජීවිතයේ අසීමිත සතුටක් විඳින්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. ජීවිතේ තියෙන ඒකාකාරී බව නැති කරගෙන මනස සැහැල්ලු කරගන්න ඒ හමුවීම ගොඩක් උදවු වෙනවා. අපි ඒ අයත් එක්ක නිතර නිතර කතා කරනවා. මුණගැහෙනවා. ඒ දේවල් කරන්න අපේ මනසින් පෙලඹීමක් ඇති වෙන්නෙ ඒ අයව මුණගැහුණම අපිට යම් සතුටක් අස්වැසිල්ලක් දැනෙන නිසා.

අපේ ජීවිතේ අපට මුණගැහෙන්නෙ හොඳ අය විතරක් නෙමෙයි. නරක අයත් ඕනෑ තරම් මුණගැහෙනවා. ඒ අය නිසා ඔබ ගොඩක් දුකට පත් වෙන්න ඇති. ඒත් ඔබව දුකට පත් කරපු ඒ අයටත් චෝදනා කරන්න එපා. ඔබේ ජීවිතයේ ඔබට මුණගැහෙන නරක මිනිසුන් ඔබට අත්දැකීම් ලබා දෙනවා. ඒ අත්දැකීම් ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට ගොඩක් ප්‍රයෝජනවත්. මේ අය නිසා ඔබ තාවකාලිකව මානසික පීඩනයකට, දුකකට පත් වුණත් ඒ අය නිසා ඔබට ලැබුණ අත්දැකීම් ඔබේ ජීවිතයේ සතුට හොයාගෙන යන ගමනට ගොඩක් වැදගත් වෙනවා. මේ සමාජයේ ඉන්නෙ හෙඳ මිනිස්සු විතරක් නෙවෙයි. නරක මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ නරක මිනිස්සු කොයි වගේද කියලා ඔබට අත්දැකීමක් තියන එක ජීවිත ගමනේදී ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයට නොමිලේ අත්දැකීම් දෙන නරක මිනිසුන්ට කවදාවත් චෝදනා කරන්න එපා.

නරක මිනිසුන්ට අමතරව ඔබේ ජීවිතේ ඔබට අතිශය නරක, කුහක, අධික ආත්මාර්ථකාමී අය මුණගැහෙන්නත් පුළුවන්. මේ අය අතිශය විනාශකාරී පිරිසක්. ඒ අය නිසාම ඔබේ ජීවිතය විනාශ වෙලා, නැති වෙලා, බින්දුවෙනුත් පහළට වැටිලා නන්නත්තාර වුණා වෙන්නත් පුළුවන්. ඒ අය කියපු කරපු දේවල් ඔයාගේ ජීවිත කාලයට අතිශය වේදනාත්මක දෙයක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ අයට දැඩිව වෛර කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ අය ඔබේ ජීවිතයට කළේ යහපත් දෙයක් කියලා අමතක කරන්න එපා. ඔව් … කිසිම වෙලාවක ඒ අයට චෝදනා කරන්න එපා. ඔබේ ජීවිතයේ ඔබට මුණගැහෙන ඒ වගේ අතිශය දරුණු, අතිශය නරක මිනිසුන් ඔබට ජීවිත පාඩම් කියලා දෙනවා. ඒ පාඩම් ජීවිතය පවතින තුරාවටම ඔබට මතක හිටිනවා. ඒ පාඩම්වලින් ඔබ ඉගෙන ගන්න දේවල් ඔබේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න උපරිමයෙන් දායක වෙනවයි කියලා ඔබ දන්නවද? ඔව්. ඒ පාඩම් ඇසුරෙන් ඔබට ජීවිතය අසීමිත විදිහට ජයගන්න පුළුවන්. ජීවිතේ නිවැරදි තීරණ ගන්න, වරදින්න යන තැන් … වරදින්න කලින් අඳුර ගන්න ඒ පාඩම් නිසා ඔබට පුළුවන්. ජීවිත කාලෙටම මතක හිටින ඒ පාඩම් නිසා ඔබේ ජීවිතයේ සාර්ථක හැරවුම් ලක්ෂ්‍යය සටහන් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පාඩම් කියලා දීපු අයට වෛර කරන්න එපා. ඒ වගේ අතිශය ගැඹුරු ජීවන පාඩමක් කියල දුන්න ඒ අයගේ ඒ පාඩම උපයෝගි කරගෙන ඔබට අතිශය සාර්ථක දුර ගමනක් යන්න පුළුවන්.

මම කලින් කිව්වනේ අපිට අපේ ජීවිතේදී යහපත් අය හම්බ වෙනවයි කියලා. ඒ වගේම අතිශය යහපත් අතිශය සුන්දර මිනිස්සුත් ඔබට ඔබේ ජීවිතයේදී හමුවෙනවා. මෙහෙම අය ගොඩක් අඩුයි. ඒත් අහඹු විදිහට මේ වගේ අය අපිට හම්බ වෙනවා. මේ වගේ අය නිසා තමයි අපේ ආත්මයට අසීමිත සතුටක් දැනෙන්නේ. ඔබේ ජීවිතයේ ඔබට මුණගැහෙන මේ වගේ අතිශය සුන්දර මිනිසුන් ඔබට සුන්දර මතකයන් ලබා දෙනවා. ඒ මතකයන් සදාකාලිකයි. උදාහරණයක් විදිහට ඔබේ අම්මා ඔබට මුණගැසුණු අතිශය සුන්දර අපූරු කෙනෙක්. අපිට ඒ බව අවබෝධ වෙන්න ගොඩක් කල් යනවා. ඒත් ඔබේ අම්මා නිසා ඔබේ ජීවිතේ සොඳුරු මතකයන් ඕනෑ තරම් ඇති වෙනවා. ඔබේ තාත්තත් ඒ වගේමයි.

අහඹු ලෙස මුණගැහුණු සමහර සුන්දර අනියම් රහස් තැන් අපේ ජීවිතවල තියෙනවා. ඒ අයත් ඔබේ සුන්දර ජීවිතයට කවදාවත් අමතක නොවන සුන්දර මතකයන් එකතු කරල යන්න ඇති. ආයෙත් හමුවෙන්න ඇති. ඒත් ඒ සදාකාලික මතකය ඔබේ ආත්මය සුවපත් කරනවා.

ලක්මිණ රණසිංහ