ඉන්දියාවෙන් අමූල් කිරිපිටි මිලට ගැනීමට සාකච්ඡා

0
22

අමූල් කිරි සහ කිරිපිටි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වීමට ඉන්දියාවේ ශ්‍රී  ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡා කර තිබේ.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවේ යෙදවීම කෙරෙහි එහිදී අවධානය යොමුවී ඇත.

සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා දෙපාර්ශ්වයම ප්‍රධාන නිලධාරියකු නම් කිරීමටත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමටත් තීරණය කර තිබේ.

ඉන්දියාවේ ශ්‍රී  ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු නියෝජිත පිරිසක් ගුජරාට් ප්‍රාන්තයේ නිල සංචාරයක යෙදී අමූල් සමාගම සමඟ සාකච්ඡා කර තිබේ.

ඉන්දියාවට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් සියයට හතළිස් පහක් සපයන අමූල් සමාගමේ කළමනාකාර අධෂක්ෂ ආර්.එස්. සෝධි මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එහිදී මුණගැසුණු බව ඉන්දියාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියයි.

 ශ්‍රී  ලංකාවට අමූල් කිරි ගෙන්වීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුකර තිබෙන අතර ඊට අදාළව ඉදිරියේදී තවත් සාකච්ඡා පැවැත්වීමටද තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී  ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ආහාර සැකසුම් කර්මාන්ත අමාත්‍ය ශ්‍රී  පශුපති කුමාර් පරාස් මුණගැසී ශ්‍රී  ලංකාවට කිරිපිටි ගෙන්වීමේ හැකියාව ගැන සාකච්ඡා කර ඇත.

ශ්‍රී  ලංකාවේ පශු සම්පත් අංශය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා නියෝජ්‍ය මහකොමසාරිස් නිලූක කදුරුගමුව ඇතුළු පිරිසක්ද සාකච්ඡා කර තිබේ.

1946දී ඉන්දියාවේ ආරම්භ කරන ලද සමුපකාර වැඩපිළිවෙළ යටතේ ගම්මාන 18,565ක් පුරා කිරි නිෂ්පාදන සාමාජිකයන් මිලියන 3.6ක් ව්‍යාප්තව සිටින බව ඉන්දියාවේ ශ්‍රී  ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

අමිත් මධුරංග ගමගේ