අරගලයට සහාය දක්වන්න ද්වේෂසහගත ෆේස්බුක් සටහනක් තැබූ තරුණයා රිමාන්ඩ්

0
17

කොළඹ ගෝල්ෆේස් අරගලයට සහාය දක්වමින් පොලිසියට හා හමුදාවට විරෝධය පළ කොට ද්වේශ සහගත වෛරී ප්‍රකාශ අඩංගු සටහනක් මුහුණු පොතේ තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරන ලද සැකකරුවකු ලබන මස 8 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (25දා) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල කොටුව පදිංචි සැකකරුවෙකි. ගෝල්ෆේස් පිටියේ අරගලය පැවැති දිනවල පොලිසියට හා හමුදාවට විරෝධය පළ කරමින් මහජනතාව උසිගන්වන ආකාරයේ වෛරී දේ ද්වේශසහගත ප්‍රකාශයක් මුහුණු පොතේ තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකරුට ඇප නියම කරන ලෙස සැකකරුගේ නීතිඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සැකකරුට ඇප දීමට විරෝධය පළ කරන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයේ මාතර කොට්ඨාසයේ නිලධාරීන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දීන්, අහංගම – එස්. දීයගහගේ