අද සිට තෙල් දෙන්නේ QR කේතය අනුවයි

0
218

රට පුරා ඉන්ධනහල් තුළ අද (ජූලි 25) සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එසේ ම, විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ඉන්ධනහල් 20ක් ආශ්‍රිතව කළ මෙම ක්‍රමවේදය අත්හදා බැලීම සාර්ථක ලෙස කළ බව ත් ඒ සඳහා වාහන 4,708ක් යොදා ගැනුණු බව ත් අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මෙම ක්‍රමවේදයට අනුව QR කේතය ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි දින පවතින අතර ඒ අනුව වාහනයේ අවසන් අංකයට අනුව එනම් 0, 1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3 – 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙක, 6 – 7 – 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇත.

කෙසේ නමුත්, ගෙවුණු සති අන්තයේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන හල් වෙත ඉන්ධන ලැබී නොමැති අතර මෙලෙස ඉන්ධන ලැබී නැත්තේ ඉන්ධන හල් හිමිකරුවන් තෙල් සංස්ථා වෙත අදාළ ගෙවීම් නොකිරීම නිසා යැයි එම සංස්ථා ප්‍රකාශකයෙක් මව්බිම කළ විමසුමකදී පැවසීය.

විශේෂයෙන් ඊයේ (ජූලි 24) ඉරිදා දිනයක් හේතුවෙන් ඉන්ධන බවුසර් අඩු සංඛ්‍යාවක් තෙල් ගබඩා පර්යන්ත වෙත පැමිණීම ද මෙලෙස ඉන්ධන හල් වෙත ඉන්ධන නොලැබීමට හේතුවක් බව ද වාර්තා වේ.