ගෝල් ෆේස් සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදයක්

0
282

ආරක්ෂක මෙහෙයුමක් මගින් ගාලු මුව‍ෙදාර විරෝධතාකරුවන් ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක් අනිද්දා (ජූලි 27දා) පැවැත් වේ.

මෙම විවාදය සඳහා පාර්ලිමේන්තුව අද (ජූලි 25) රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

කෙසේ වෙතත් මේ ගැන කළ විමසීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වහා ම පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂය විසින් ඉල්ලා සිටි නමුත් හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යතාවක් පැනනැගී නොමැති බව පැවසීය.

විපක්ෂය පාර්ලිමේන්තුව අද (ජූලි 25) කැඳවීමට අවශ්‍ය යැයි ඉල්ලා සිටි නමුත් අනිද්දා (ජූලි 27) හදිසි නීති විවාදයට පාර්ලිමේන්තුව කැඳවන බැවින් එහිදී සාකච්ඡා කිරීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂයට දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය.

ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එකඟත්වය පළ කළ බව රණතුංග මහතා වැඩිදුරට ත් පැවසීය.

එමෙන් ම හෙට (ජූලි 26) ජනාධිපති හා අගමැති ප්‍රමුඛ කණ්ඩායම් රැස්වීමක් පැවත්වීමට නියමිත බව ද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂ කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම හා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත ය.