හොඳම විසඳුම මහ මැතිවරණයයි

0
237

මෙරට දේශපාලනය දවසින් දවස විවිධ සිදුවීම් ඔස්සේ  වෙනස් වන ආකාරයක් දකින්නට ලැබේ. අරගල, ඉවත්වීම්, පත්වීම්, මර්දන වැනි සිද්ධිදාමයක් ඇති වුවද පවතින ආර්ථික අර්බුදය තවමත් එසේමය. මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඔසන්ත එන්. තල්පාවිල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 

පසුගිය සති කිහිපයේ  මෙරට දේශපාලන ඉතිහාසයට අලුත් පරිච්ඡේද කිහිපයක් එකතු වුණා. මේ තත්ත්වය පැහැදිලි කරන්නේ කෙසේද?

පසුගිය දිනවල ශ්‍රී ලංකා  දේශපාලනයේ ඇති වුණේ විශේෂිත සිදුවීම් මාලාවක්. ඉතිහාසය පිළිබඳ විමසීමේදී 1953 හර්තාලයකින් ඇති වූ විරෝධය  නිසා ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වුණා. ඒ හැරුණු කොට නිදහසින් පසු දේශපාලන ඉතිහාසයේ  ආණ්ඩු වෙනස් කරලීම හෝ බලයට පත්කරලීම සිදුවුණේ මැතිවරණ ක්‍රියාදාමයක් තුළින්. නමුත් පසුගිය දිනවල දේශපාලනයේ විශේෂ තත්ත්ත්වයක් නිර්මාණය වුණා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට ජනාධිපතිවරයා සුවිශේෂී විධායක බලය භුක්ති විඳින්නා වූ යම්කිසි ප්‍රබල තනතුරක්. එවැනි සුවිශේෂී බලතල භුක්ති විඳින විධායකයේ ප්‍රධානියා හැටියට කටයුතු කළ ජනාධිපතිවරයාට  මහජන විරෝධය නිසා ඉල්ලා අස්වීමට සිදුවුණා.

ඒ විතරක් නොවෙයි ඔහුට රටින් බැහැරවීමට පවා සිදුවුණා. ශ්‍රී ලංකාවේ මෑතකාලිනව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතුණු ආර්ථික අර්බුදය පදනම් කරගෙන නිර්මාණය වුණු දේශපාලන අර්බුදය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. ආර්ථික අර්බුදය තුළ සාමාන්‍ය ජන ජීවිතය දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයට පත්වුණා. ඉන්ධන හිඟය, ගෑස් හිඟය මුල්කරගෙන විවිධ සේවාවන්, ප්‍රවාහන ඇතුළු විවිධ අංශ මෙන්ම  විදුලිබලය සැපයීම වැනි අත්‍යවශ්‍ය සේවා ගණනාවක් බිඳවැටුණා පමණක් නොවෙයි ඒ නිසාම සමස්ත ආර්ථිකයම අඩපණ වුණු තත්ත්වයට පත්වුණා. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වෙත විශාල ජන විරෝධයක් එල්ල වුණේ මේ නිසාමයි.

දේශපාලනයේ යම්යම් තීරණ ගැනීමේ ප්‍රමාදයන් මේ අර්බුදය තවතවත් උත්සන්න වීමට හේතු වූවා යැයි ඔබ හිතනවාද?

මේ අර්බුදය නිර්මාණය වුණු මුල් අවස්ථාවේ ගොඩනැඟුණු එක් ප්‍රබල යෝජනාවක් වන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර  ආර්ථික අර්බුදය විසඳීම සඳහා දේශපාලනමය වශයෙන් යම්කිසි ආකාරයේ ක්‍රියාදාමයකට  ප්‍රවේශය වීම යන කාරණාව. නමුත් ඒ කාර්යය ඒ ආකාරයෙන්ම සිදු වුණේ නෑ. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම පිළිබඳව ඉදිරිපත් වුණු යෝජනා දිගින් දිගටම කල් ගියා. අවාසනාවන්ත සිදුවීම් මාලාවකින් පස්සේ තමයි අගමැතිවරයා  ඉල්ලා අස්වෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ අදහසත් ඔහු විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියා.

ලංකාවේ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ඉදිරිපත්වීමේ වීමේ මැළිකමක් දැක්වූ බව තමයි දක්නට ලැබුණේ. මේ දේශපාලන පක්ෂවලින් බොහෝමයක් තම තමන්ගේ පෞද්ගලික බල ව්‍යාපෘතිය යම්කිසි විදිහක සාර්ථක කරවා ගැනීම සහ තමන්ගේ  දේශපාලන බල ව්‍යාපෘතියේ අනාගතය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියත් තමයි අනුගමනය කළේ. මේ නිසාම මේ අර්බුදය තවදුරටත් උත්සන්න වූවා යැයි කියන්න පුළුවන්. මේ අර්බුදකාරී තත්ත්වය තුළ තමයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමත් සිදු වෙන්නේ.

නව ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවටත්  නැවතවතාවක් ජන විරෝධයක් පෙළගැසෙනවා නේද?

දේශපාලන හා ආර්ථික අර්බුදය යන ප්‍රධාන ප්‍රවේශ දෙක විසඳාගැනීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට තමයි වර්තමාන ලංකාව මුහුණ දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් තෝරා පත්කරගත් ජනාධිපතිවරයාද ඉවත් විය යුතුයි යන්න දැන් සමහර කණ්ඩායම් ඉස්මතු කරන ප්‍රධාන කාරණාව.

අරගලකරුවන් ඇතුළු බහුතර  ජනතාවගේ මූලික මතය වෙලා තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයි යන්නයි. ඉන් පසුව පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් රාජපක්ෂ පාලනයම නියෝජනය කරන බවට පවසමින් ඔහුද ඉවත්විය යුතු බවට විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් බවට දැන් පත් වී තිබෙනවා. ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යම්කිසි කාල සීමාවක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කරගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමු කියන කාරණාව බහුතර සිවිල් සමාජයෙන් මතු වුණා.

එය සිවිල් සමාජයෙන් පමණක් නොව බහුතර දේශපාලන පක්ෂවලින්  පවා ඉදිරිපත් වුණු  කාරණාවක්. ඉදිරි මැතිවරණය පවත්වන තෙක් වත් සියලු පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි යන්න ඔවුන්ගේ ඉල්ලීම වුණා. හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම තුළ නව  ජනාධිපතිවරයා වශයෙන්   රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන්  තෝරා පත් ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රහස් ඡන්දයකින් මේ ක්‍රියාදාමය මුළුමනින්ම සිදුවුණේ රටේ පවතින ව්‍යවස්ථාවට අනුවයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ සලකා බැලුවොත් එය මුළුමනින්ම ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක්. එය කාටත් ප්‍රතික්ෂේප හැකි කාරණාවක් නොවෙයි.

නමුත් විවිධ සිදුවීම් ඔස්සේ අරගලකරුවන් ඔහුට විරුද්ධව චෝදනා රැසක් ඉදිරිපත් කරනවා?

අරගලකරුවන්ගෙන් සමහර පිරිසක්  ඉදිරිපත් කරන්නේ ඔහු ජනාධිපතිවරයා වශයෙන්  පිළිගැනීමට නොහැකි බව. ඒ දේශපාලන සුජාතභාවය සොයායෑමක්. මෙතනදී අපි අවධානය යොමු කළ යුත්තේ පවතින ආර්ථික තත්ත්වය කෙසේ හෝ යම්කිසි දුරකට සමථයකට පත්කර ගැනීම සඳහා කටයුතු කරනවාද නැතිනම්   නම් ආර්ථිකය පැත්තකට කරලා දේශපාලන සුජාතභාවය තහවුරු කරලීම සඳහා පමණක්ම තවදුරටත් කටයුතු කරනවාද කියන කාරණාව.  අරගලකරුවන්ගේ බහුතරයේ ඉල්ලීම ඉෂ්ට වෙලා තියෙනවා. එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආණ්ඩුව ඉවත් වෙලා තියෙනවා ඉන්පසු අලුත් ජනාධිපතිවරයකු පත් කරගෙන තිබෙනවා. ඒ පත්වීමත් පිරිසක් අභියෝගයට පත්කරමින් සිටිනවා.

නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  දැඩි මර්දනකාරි පිළිවෙතක් ඇති බවට චෝදනා නැඟෙනවා. පසුගිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය දැඩි විවේචනයකට ලක්වෙනවා  නේද?

රනිල් වික්‍රමසිංහ කියන්නේ අවුරුදු 45කට ආසන්න කාලයක් ලංකාවේ දේශපාලනයේ නිරත වෙච්ච දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව  නියෝජනය කළ පුද්ගලයෙක්. රටේ ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලීම සඳහා පවතින  දුෂ්කර තත්ත්වය තුළ රාජ්‍ය බලය ලබා ගැනීමට නැති නම් ජනාධිපති තනතුරු ලබා ගැනීමට ඔහු ඉදිරිපත් වුණා. ජනාධිපතිවරයෙක් හැටියට ඔහු මුල්වරටයි බලයට පත්වුණේ. අවුරුදු 45කට ආසන්න කාලයක් දේශපාලනයේ නිරත වුණාට මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ පළමු වරටයි. ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ දැඩි කැපවීමකින් තමන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති වීමට පෙර  අගමැතිවරයා වශයෙන් කටයුතු කටයුතු කළ මුල් සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමටත් ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර  අවධානය යොමු කරවීමටත් කටයුතු කළා. එය ලංකාවේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ඔහු විසින් අනුගමනය කරන උපාය මාර්ගය. එය අපට එක්වර බැහැර කළ නොහැකියි. ඒ සඳහා ඔහුට  ඉඩදිය යුතුයි.

ලංකාවේ ආර්ථික අර්බුදය ඉතාමත්ම දරුණු ආකාරයෙන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක තවදුරටත් රටේ දේශපාලන සුජාතභාවය හෝ අරගලකරුවන්ට කැමැති රාජ්‍ය නායකයා බලයට පැමිණෙන තුරු බලා සිටියහොත් මේ ආර්ථික අර්බුදය තුළින් රට අගාධයටම වැටෙනවා විතරක් නෙවෙයි අපේ ජනතාව විශාල වශයෙන් ජීවිත පිරිහීමකට, ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවකට පත්වෙනවා. මේ තත්ත්වය තුළ කෙටි  කාලීන වශයෙන්වත් ලංකාවේ ආර්ථිකය යම්කිසි ආකාරයේ සහනකාරි යහපත් තත්ත්වයකට ළඟාකර ගැනීමට හැකියාවක් ලැබුණොත් එය අත්වැසිල්ලක් වේවිි. ඒ හරහා මහමැතිවරණයක් සඳහා යෑමේ ඉඩකඩ ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්.

බලයට පත්වෙච්ච ජනාධිපතිවරයාගේ  වැඩපිළිවෙළට ආරම්භයේදීම විරෝධතා පළනොකොට ඔහුට  අවස්ථාව ලබාදිය යුතුයි. අවම වශයෙන් මහ මැතිවරණයක්  දක්වා හෝ යෑමට.

විරෝධතාවන් දිගින් දිගටම පැවතීම රටේ ස්ථාවරභාවයට දැඩි බලපෑමක් එල්ල කරනවා නේද?

විරෝධතාවන් පවත්වන සමහර කණ්ඩායම් පවසන කාරණාවක් තමයි වර්තමානයේ බලයට පත් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉවත් වන තුරුම ඔවුන්ගේ විරෝධය දිගින් දිගටම පවත්වාගෙන යන බව පවසනවා. නමුත් මේ විරෝධතා දිගින් දිගටම පැවතීම තුළින් ආර්ථික වර්ධනයක් දක්වා යෑමට තිබෙන්නා වූ ඉඩකඩ තවදුරටත් අෑතට යනවා. ඊට හේතුව විරෝධතාවක් නිසා ලංකාවේ ප්‍රතිරූපය   සම්බන්ධව ජාත්‍යන්තරයේ  යම් යම් අසතුටුදායක තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්.

මේ නිසාම ජාත්‍යන්තරයෙන් ලැබෙන්නා වූ සහයෝගය අඩු වීමට හේතු විය හැකියි. දේශපාලන ආරවුල් පවතින රටක් සම්බන්ධයෙන්  විදේශ ආයෝජකයන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වගේම  සංචාරකයෝ එම රටවල සංචාරය කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. අපට යම් යම් ආධාර දෙන රටවල් තියෙනවා නම් ඒ අයත්  මේ වගේ ආරවුල්  තියෙන රටවලට ඔවුන්ගේ සහයෝගය ලබා දීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති නොවුණහොත් කුමන තත්ත්වයක් ඇතිවෙයිද?

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම මේ සියලු දේශපාලන පක්ෂවල පැවැත්මට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ  අනිවාර්යෙන්ම මේ ආර්ථික අර්බුදය දුරදිග යෑමෙන් ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ඒකාධිපති පාලනයන් සඳහා ඒත් නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගයන් මතුවීමේ අහිතකර පරිසරයක් නිර්මාණය වීම. එය බොහෝ රටවල්වල සිදු වූ  දෙයක්. රටක් ආර්ථික පීඩාවට පත් වීම තුළ කැරලිකාරි කණ්ඩායම්වලට මතුවීමේ ඉඩකඩ අවස්ථා වැඩියි. ඒ තත්ත්වය අප ඉක්මනින් වළක්වා ගන්න ඕනේ.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර අරමුදල වෙත යෑම පමණක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  ලංකාවේ ආර්ථික අර්බුදය  විසඳා ගැනීම සඳහා මැදිහත් කර ගැනීම මේ අර්බුදය විසඳා ගැනීමේ එක් විකල්පයක් පමණයි. අයි.එම්.එෆ්. එක සහභාගි කරවා ගැනීමෙන් රජය බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ගෙවිය යුතු ණය වාරික සහ ගෙවිය යුතු ණය පිළිබඳ සහනදායී පිළිවෙතක් අනුගමනය කරවා ගැනීම. එමගින් රටේ ඩොලර් සංචිත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකින් ආරක්ෂා කර ගැනීම. එමඟින් අපට අවශ්‍ය ආනයනික  අවශ්‍යතා තවදුරටත් සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් අයි.එම්.එෆ්. විසඳුම තුළින්ම පමණක් මේ අර්බුදය විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සඳහා වෙනත් මාර්ග සඳහා රජය අවධානය යොමු කළ යුතු වෙනවා.

මොනවද ඒ ක්‍රියාමාර්ග?

විශේෂයෙන්ම විදේශ විනිමය උපයා දෙන්නා  වූ කෙටි කාලීන ක්‍රියායමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අප මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට කෙටි කාලීන සහ දිගුකාලීන වශයෙන් විසඳුම් විවිධාකාරයෙන් යෝජනා කළ හැකියි. හැබැයි මෙතැනදි රජයට සිද්ධ වෙනවා කෙටි කාලීන වශයෙන් ඇති විසඳුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. සාමාන්‍ය ජන ජීවිතය ඉතාමත්ම බරපතළ ආකාරයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. පාරේ දකින තෙල් පෝලිම්,  ගෑස් පෝලිම් වගේම විවිධ බෙහෙත් හිඟයන්,   විදුලි කප්පාදුව, ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම යන  හැම දෙයක්ම සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම ඒවා සඳහා කෙටි කාලීන විසඳුම් ලබාගත යුතුයි. විදේශ විනිමය උපයා ගැනීමට ඉඩ සැලසෙන ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම, සංචාරක ව්‍යාපාරය යම් කිසි විදියකින් ශක්තිමත් කරවා ගැනීම, අනවශ්‍ය ආනයන නතර කර ගැනීමෙන්  විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම කෙටිකාලීන ක්‍රියාමාර්ග හැටියට සලකන්න පුළුවන්.

ඉක්මනින් මැතිවරණයකට යෑමට අවශ්‍ය පියවර ගත යුතුයි නේද?

අපි මේ කතා කළ ඒවා කෙටිකාලීන තාවකාලික දේශපාලන විසඳුම්. ලංකාවේ මේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුම් සොයනවා නම් පවතින එකම විසඳුම තමයි මහ මැතිවරණයකින් ජනතාවගේ අභිමතය පරිදි නව ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමට ඉඩ සලසා ගැනීම. පවතින පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් යම්කිසි ආකාරයේ විරෝධයක් තිබෙනවා නම් අවිශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා නම් තියෙන එකම විකල්පය තමයි මහමැතිවරණය තුළින් නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම.  

සංලාපය _ රසිකා එස්. රණවීර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය