හංගන් ඉන්නේ නැතුව හිත පිරෙන්න දරුවාට ආදරේ දෙන්න

0
176

හිරු එළියක් නොමැතිව පෘථිවියට පැවැත්මක් නොමැත. හිරු එළිය නිසාම, පෘථිවිය නිසාම ගහකොළ, සතා සිවුපාවා ජීවත් වෙති. එමෙන්ම මවුපියවරුන් නොමැතිව දරුවන්ටද ජීවිතයක් නැත. මවුපියන්ගේ මහමෙරක් තරම් වූ ආදරය, සෙනෙහස, රැකවරණය නිසාම දරුවෝ ජීවත් වෙති. එම නිසාම මවුපියන් වන ඔබ දරුවන්ගේ කායික මෙන්ම මානසික සංවර්ධනය පිළිබඳ සොයා බැලිය යුතුය.

අපි දරුවකුගේ ශාරීරික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන තැන මානසික සංවර්ධනයටත් ලබාදීම සමාජයේ පැවැත්මට බොහෝ සෙයින් වැදගත් වේ. ඕනෑම දරුවකුගේ මනස අපිට කැමැති ආකාරයකට ඇඹිය හැකි අතර එයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දරුවාගේ අවට පරිසරය සහ පුද්ගලයන්ය. එහිදී ප්‍රධාන වන්නේ මවුපියන්ය. නිරෝගී සමාජයක් වෙනුවෙන් තැබිය හැකි පළමු අඩිතාලම වන්නේ දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය පිළිබඳ මවුපියන් ඔබ නිවැරදි ලෙස දැනුවත් වීමයි.

අද මවුපියන් හට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ දරුවන් මවුපියන් පවසන ඇතැම් දේවල් නොසලකා හැරීමයි. එවැනි අවස්ථාවලදී මවුපියන් පීඩාවට පත්වන අතර ඔවුන් උත්සාහ කරන්නේ තමන්ට කැමැති ආකාරයට දරුවන් හැසිරවීමයි. ඇතැම් අවස්ථාවලදී දරුවන්ගේ අකීකරුකම් නිසාම මවුපියන් අතරද ගැටලු ඇතිවිය හැකිය. එසේම මවුපියන් අතර තිබෙන ගැටලු නිසාම දරුවන්ගේ හැසිරීම් වෙනස් විය හැකිය.

බොහෝ විට දරුවන් මවුපියන්ගෙන් බලාපොරොත්තු වන දේවල් අතර ඉහළින්ම තිබෙන්නේ රැකවරණය, ආදරය සහ පෝෂණයයි. දරුවෝ මවුපියන්ගේ ආදරය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙති. ඔවුන්ට තමාගේ මුළු ලෝකයම මවුපියන්ය. පාසලට ඇතුළත් වනතුරු මවුපියන්ගේ පහස ලබන දරුවන් පාසල නිමාවී නිවෙසට පැමිණෙන්නේ මවුපිය ආදරය සොයාගෙනය. එම ආදරය මත දරුවන් සහ මවුපියන් අතර තිබෙන සම්බන්ධතාව ගොඩනැඟේ. කුඩා කාලයේදී දෙපාර්ශ්වය අතර ඇතිවන බැඳීම දරුවන්ගේ අනාගතයට විශාල වශයෙන් බලපායි.

එම ආදරය මත දරුවන් අනාගතයේදී යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනඟා ගන්නා අතර කුඩා කාලයේ දරුවන් හට ලබාදෙන ආදරය ඔවුන්ගේ අනාගතයට මහත් ලෙස උපකාරී වේ. අද මවුපියන් දරුවන් හඬන විට හැඩීම නවත්වා ගැනීමට සහ කරදර කරන විට කරදරයෙන් මිදීමට පමණක් දරුවන්ට ආදරය ලබාදෙයි. නමුත් වැඩිහිටියන්ගේ මූලික වගකීම වන්නේ දරුවා තමන් අසල රැඳෙන සෑම තත්පරයකම හැකි උපරිම සෙනෙහස දරුවාට ලබාදීමයි. එසේම පවුලෙහි දරුවන් කිහිප දෙනකු සිටිනවා නම් භේදයක් නොමැතිව එක සේ ඔවුනට ආදරය ලබාදීම මවුපියන් සතු යුතුකමකි.

මවගේ සහ පියාගේ ආදරය දරුවා හට ඉතා වැදගත් අතර ඇතැම් පියවරුන් තම ආදරය සිත තුළ රඳවාගෙන දරුවාට එය නොපෙන්වයි. නමුත් පියකුගේ ආදරය දරුවන් නිතැතින්ම බලාපොරොත්තු වන අතර පවුලක් තුළ කොතරම් ගැටලු පැවැතියත් එම ගැටලු පසෙක තබා දරුවන් හට ආදරය ලබාදිය යුතුය. මවුපියන් විසින් කරනු ලබන තවත් වැරැද්දක් වන්නේ තමන් හට තිබෙන ගැටලු මඟින් ඇතිවන පීඩනය දරුවන් මතින් යැවීමයි.

නැතිනම් තමන් සතුව තිබෙන මානසික පීඩනය දරුවන් සමඟ පැවැසීමයි. එය ඉතා වැරදි ක්‍රියාවකි. තමන් හට තිබෙන ගැටලු තමාට හැකි ආකාරයෙන් විසඳා ගන්නවා විනා එය දරුවන් හට පැවැසීමෙන් සිදු වන්නේ දරුවන් අනාරක්‍ෂිතභාවයට පත්වීමයි. මානසික අපහසුතාවට පත්වීමයි. එය ඔවුන්ගේ ජීවිත කාලයටම බලපාන අතර කිසිම විටෙක මවුපියන්ගේ ගැටලුවලට දරුවන් ප්‍රාණ ඇපකරුවන් කර ගත යුතු නැත.

දරුවන් හට විවිධ ක්‍රමවලට ආදරය ලබාදිය හැකි අතර එයින් ප්‍රධාන වන්නේ වාචිකව ලබාදෙන ආදරයයි. එය මවකට, පියකුට පහසුවෙන් ආදරය ලබාදිය හැකි හොඳම මාර්ගයකි. ඇතැම් මවුපියන් කොපමණ සිතින් ආදරය කළත් එය වචනයෙන් පවසන්නේ නැත. එසේම ඇතැම් මවුපියන් සිතන්නේ මුදල් ලබාදීම, ආහාර ලබා දීම හෝ දරුවාව පාසල්, ටියුෂන් පන්ති රැගෙන ගොස් දැමීම ආදරය බවයි. නමුත් සැබෑ ආදරය තිබෙන්නේ සිපවැලඳ ගැනීම, ස්පර්ශය, නිරන්තර අගය කිරීම, හිස අතගෑම වැනි සොඳුරු මොහොතවල් තුළය. දරුවාට ආදරය ලබාදිය යුත්තේ ඔහුට හෝ ඇයට දැනීමටය.

එසේම දරුවාගේ ආහාර, විනෝදාංශ, යහළු යෙහෙළියන් සමඟ තිබෙන සම්බන්ධතා, පාසල් වැඩකටයුතු පිළිබඳව නිතර කතාබහ කිරීම, සාකච්ඡා කිරීම බොහෝ වශයෙන් වැදගත් වේ. මේ සියලු දේවල් සිදුකළ යුත්තේ ආදරයෙන් කතා කිරීම මඟිනි.

ඕනෑම ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු තම මවුපිය සෙනෙහසට ප්‍රිය කරන අතර ඔවුන් මවුපියන්ගේ සුරතල් විඳීමට වැඩි කැමැත්තක් දක්වයි. මවුපියන් ආදරයෙන් ඔවුන්ගේ හිස පිරිමැදීම ඔවුනට ලැබෙන මහඟු දායාදයකි. එම සෙනෙහස මඟින් දරුවන්ගේ මානසික ආතතිය අවම වන අතර මවුපිය – දූ දරු යහපත් සබඳතාවක් ගොඩනැඟීමටද එය විශාල ලෙස උපකාරී වෙයි.

එසේම මවුපියන් දරුවන් හට නිතරම උදවු කිරීමෙන් වැළකිය යුතු අතර ස්වාධීනව ඔවුන්ගේ වැඩකටයුතු කර ගැනීමටද ඉඩ ලබාදිය යුතුය. බොහෝ ලෙස ආදරෙයි යැයි පවසා සෑම වැඩකටයුත්තක්ම කරදීම සුදුසු නැත. නමුත් දරුවන් විභාගවලට සූදානම් වන අවස්ථාවන්වලදී, ලෙඩවුණු අවස්ථාවලදී ඔබ දරුවන්ට උපකාර කරනවා නම් දරුවන්ගේ සිත තුළ තිබෙන මවුපිය සෙනෙහස තව තවත් වර්ධනය වනු ඇත.

දරුවන් හට ආදරය ප්‍රකාශ කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ කලාතුරකින් හෝ ඔහුට නැතිනම් ඇයට බත් කටක් කැවීමයි. එසේම මවුපියන් වශයෙන් දරුවන් හට ගරුත්වයකින් සැලකිය යුතුය. බොහෝ මවුපියන් කරන වැරදි ක්‍රියාවක් වන්නේ දරුවන්ගේ ආත්මගරුත්වය නැති වන පරිදි අන් අය ඉදිරිපිට දරුවන් හට දෝෂාරෝපණ එල්ල කිරීමයි. මෙවැනි ක්‍රියාවලින් දරුවන් උත්සහාවන්ත වේවි යැයි ඇතැම් මවුපියෝ සිතුවත් එයින් සිදු වන්නේ දරුවන් මානසික පීඩාවට පත්වීමයි.

ඇතැම් දරුවන්ට තම මවුපියන් ළඟ රැඳීම වැනි අවස්ථා අහිමි විය හැකිය. විදේශගත වීම, දික්කසාද වීම, මියයෑම වැනි හේතූන් මත මවුපියන් අහිමි වුණු දරුවන් හට මවුපියන්ගේ ආදරය වෙනත් කෙනකුගෙන් (ආච්චි, නැන්දා, පුංචි වැනි ඥාතියකුගෙන්) ලැබිය යුතුය. මවක, පියකු ලෙස ආදරය ලබා දිය හැකි පුද්ගලයන් ඕනෑ තරම් සිටිති. එවැනි අවස්ථාවලදී එවැනි පුද්ගලයන්ගේ ආදරයක්වත් ලබා ගැනීමට නොහැකි නම් දරුවන් මානසික වශයෙන් ශක්තිමත් කර ගැනීමට නොහැකි වනු ඇත.

තවද ළමා කාලයේ දරුවකුට ආදරය අහිමි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් තරුණ වියට පත්වුණු පසු තනිවම සිටීමට ප්‍රියතාවක් දක්වනු ලැබේ. මවගේ ආදරය වරින් වර ලැබුණත් එය නිරන්තරව නොලැබුණහොත් එවැනි දරුවන්ටද දීර්ඝකාලීන මානසික ගැටලු ඇතිවනු ලබන අතර ඔවුන්ට ලැබෙන ආදරය පිළිබඳ සැක සංකාද ඇතිවේ. නිවැරදි ලෙස මවුපිය ආදරය ලැබුණු කෙනකුට අනාගතයේ සමාජයේ මිනිසුන් සමඟ යහපත් අන්තර් සබඳතා ගොඩනඟා ගත හැකි බව මනෝ විද්‍යාත්මකව ඔප්පු වී තිබේ.

නිසි ආදරයක් නොලැබෙන විට එය කායිකව බලපානු ලබන ආකාරය පිළිබඳව කතා කළහොත්, දරුවන් ආහාර ප්‍රතික්‍ෂේප කිරීම වැඩි වශයෙන් දක්නට ලැබේ. එසේම පාඩම් කිරීම, ක්‍රියාශීලීකම අඩුවීම, පෝෂණ උෟනතා වැනි ගැටලුද දරුවන් තුළ ඇතිවේ.

වර්තමාන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ මවුපියන් දුරකථනයට ඇබ්බැහි වීම නිසාද දරුවන්ව මඟහැරී ඇති අතර මෙයද දරුවන්ගේ මානසික තත්ත්වයට අතිශයින් බලපායි. තවද මවුපියන් තුළ මතුවන ගැටලු නිසා ඇතැම් දරුවන් බියෙන් ජීවත් වන අතර එවැනි දරුවන් Dis Organised Attachment යන තත්ත්වයට පත්වන අතර එය දරුණු ආකාරයේ පෞරුෂ ආබාධවලට සහ මානසික රෝගී තත්ත්වයන්ට හේතු විය හැකිය.

තවද දරු ප්‍රසූතියකින් පසු ඇතැම් මවුවරු මුහුණ දෙනු ලබන පසු ප්‍රසව විෂාදය (Post Natal Depression (PND) වැනි තත්ත්වයන්වලදී මවක් තම දරුවාගේ කායික සහ මානසික අවශ්‍යතාවන් හට දක්වන අවධානයද අඩු විය හැකිය. මෙම අවස්ථාවන්හිදී මවක් තම දරුවාට දක්වන අවධානය අඩු කරන්නේ ඇය පත්ව සිටින මානසික තත්ත්වය නිසාය. ඇය දරුවා මඟහරින්නේ හිතාමතාම නොවේ. මෙහිදී වැදගත් වන්නේ සැමියා ඇතුළු පවුලේ අනෙක් අය ඇයට සහයෝගය දැක්වීමයි. මෙම PND රෝගය නිසි ප්‍රතිකාර හමුවේ නිට්ටාවට සුව කළ හැකිය. එසේම එවන් අපහසුතාවලට මුහුණ දෙන දරුවන්ගේ සිතෙහි ඇතිවන අවිනිශ්චිත සහ අනාරක්‍ෂිත ස්වභාවය නිසා anxious ambivalent attachment style යන තත්ත්වයටද දරුවන් මුහුණ දෙනු ලැබේ.

ඉතින් මවුපිය ආදරය විඳීමට ලැබෙන අවස්ථාව තුළින් දරුවකුගේ ජීවිතය එළිය වැටෙනවා මිස දරුවා අඳුරට නොයන බව මවුපියන් වන ඔබට මෙම කරුණු තුළින් වැටහෙනවා ඇති. තවද ඔබගේ අතින් ඔබගේ දරුවාගේ මානසික වර්ධනයට යම්කිසි හානියක් සිදුවී ඇත්නම් අදම එය නිවැරදි කර ගනිමින් ඔබට ක්‍රියාත්මක විය හැකිය. දරුවන් සිටින මවුපියන් ලෙස ඔබට තවත් කාලය ඉතිරිව ඇති නිසාම එම කෙටි කාලය තුළ හෝ ආදරය, දයාව, රැකවරණය සමඟින් ලොවට කායික මෙන්ම මානසික සුවතාවෙන් යුතු දරුවන් දායාද කිරීම ඔබගේ වගකීමක් සහ කර්තව්‍යයක් බව සිහියේ තබාගැනීම වැදගත් වේ. 

සචිනි බස්නායක

රූමි රූබන්
විශේෂඥ
මනො වෛද්‍ය
කරාපිටිය
ශික්ෂණ රෝහල