සා. පීතර-වෙස්ලි ගැටුම සමවෙයි

0
14

ශ්‍රී  ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරනු ලබන ඩයලොග් පාසල් ලීග් රග්බි තරගවලියේ මෙම සති අන්තයේ පැවැති තරගවලදී කොළඹ ඉසිපතන, මහනුවර විද්‍යාර්ථ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් වූහ. එමෙන්ම සාන්ත පීතර සහ කොළඹ වෙස්ලි විද්‍යාල අතර තරගයේදී දෙපිළම සම ලකුණු ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

ඒ අනුව කොළඹ ඉසිපතන සහ මහනුවර ධර්මරාජ විදුහල් අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 26-12ක පහසු ජයක් ඉසිපතන කණ්ඩායමට හිමි විය. එහිදී ඉසිපතනය වෙනුවෙන් උත්සාහක දිනුම් 4ක් සහ ප්‍රවර්ථනයන් 3ක් වාර්තා වී තිබිණි. ධර්මරාජයට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුම් 2ක් සහ එක් ප්‍රවර්තනයක් පමණි.

මෙම තරගාවලියේ තවත් තරගයකදී මහනුවර කිංස්වුඩ් පිලට එරෙහිව ලකුණු 53-06ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට හැකිවිය. එම තරගයේදී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථයන් 4ක් වාර්තා කර තිබූ අතර, කිංස්වුඩ් පිල දඬුවම් පහර 2ක් සාර්ථක කරගත්තේය.

තවද මහනුවර විද්‍යාර්ථ සහ ගල්කිස්ස විද්‍යා විදුහල් අතර පැවති තරගයෙන් ලකුණු 13-09ක තියුණු ජයක් විද්‍යාර්ථ විද්‍යාලය සතු විය. විද්‍යාර්ථය වෙනුවෙන් උත්සාහක දිනුම් 2ක් සහ එක් දඬුවම් පහරක් වාර්තා වූ අතර, විද්‍යා විද්‍යාලය දඬුවම් පහර 3කින් තම ලකුණු 9 වාර්තා කර ගත්තේය.

මේ අතර සාන්ත පීතර සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැති තරගයේ දෙපිළම ලකුණු 17 බැගින් රැස්කරගෙන තිබීම නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය. එහිදී සාන්ත පීතර විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් 3ක් සහ එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගෙන තිබූ අතර, වෙස්ලි විද්‍යාලය උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්ථනයන් 2ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගෙන තිබිණි.