ස්වභාවික සත්කාරවලින් කෙස්කලඹ නිරෝගී කර ගනිමු

0
145

හිසකෙස් ආශි්‍රත පැනනඟින බොහොමයක් රූපලාවණ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට වෙළෙඳපොළෙහි තිබෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය සත්කාරයන් භාවිත කිරීම සුදුසු නැහැ. එමඟින් ඔබගේ ගැටලු තව තවත් වර්ධනය විය හැකියි. එනිසාම ස්වාභාවික අමුද්‍රව්‍ය මඟින් සකසා ගත හැකි සත්කාරයන් ඔබ වෙතට ගෙන ඒමට අප නිතරම උත්සාහ කරනවා. එවැනිම වටිනා හිසකෙස් සත්කාර කිහිපයක් පිළිබඳව පහතින් කියවා බලමු. හිසකෙස් වැවීම වේගවත් කරන සත්කාරයක්

අවශ්‍ය ද්‍රව්‍ය

                -පොල් තෙල් තේ හැඳි 2ක්

                -එඬරු තෙල් තේ හැඳි 2ක්

                -විටමින් E කරල් 4යි

                -ලැවැන්ඩ්‍රා ඔයිල් බින්දු

  කිහිපයක්

සාදා ගන්නා ආකාරය

පිරිසුදු භාජනයක් ගෙන පොල්තෙල්, එඬරු තෙල්, ලැවැන්ඩ්‍රා තෙල් එකතු කොට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. අවසානයට විටමින් E කරල් ටික කඩා තෙල් ටික එකතු කරන්න.

භාවිත කරන ආකාරය

හිස්කබලේ සහ හිසකෙස්වල ආලේප කොට විනාඩි කිහිපයක් මසාජ් කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට වරක් භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි. පීනසය නොමැති නම් රාත්‍රි කාලයට වුවද භාවිත කිරීම ඉතාම සුදුසුයි.

හෙයාර් මාස්ක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

– අලිගැටපේර ගෙඩියක්

-ඔලිව් තෙල් තේ හැඳි 1ක්

-බිත්තර 1ක්

-විටමින් E කරල් 2ක්

සාදාගන්නා ආකාරය

අලිගැටපේර මදය, බිත්තර, ඔලිව් තෙල් යන සියල්ල හොඳින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් බ්ලෙන්ඩර් කරගන්න. වියළි ගතිය තිබෙන විටදී සුදුසු බුරුසුවකින් හිසකෙස්වල සහ හිස්කබලේ හොඳින් ආලේප කොට ෂවර් කැප් එකකින් වසා විනාඩි 30ක් තබන්න. අවසානයට සෝදා ඉවත් කරන්න.

රසායනික ද්‍රව්‍ය භාවිත කළ හිසකෙස් සඳහා කෙරටින් හෙයාර් මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

                දකෝමාරිකා ලොකු ඉති

                – බිත්තර 1ක්

                -මී කිරි හෝ යෝගට්

  තේ හැඳි 3ක්

සාදා ගන්නා ආකාරය

කෝමාරිකා මදය සූරාගෙන එයට බිත්තරය සහ යෝගට් සමඟ මිශ්‍ර කොට බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව සුදුසු බුරුසුවක් ආධාරයෙන් හිස්කබලේ සහ හිසකෙස්වල ආලේප කොට ෂවර් කැප් එකකින් ආවරණය කොට විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට වතාවක් කිරීම ප්‍රමාණවත්.

හිසකෙස් යෑම අවම කිරීමට සුදුසු ඔයිල් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

                – පොල් තෙල් 200 ml 

                – කෝමාරිකා ඉති 1ක්

                – කොහොඹ කොළ ඉති 4ක්

                – කරපිංචා ඉති 5යි

                – වද මල් 4ක්

                – වියළි නෙල්ලි කුඩු 10g

                – කීකිරිදිය 10g

                – ඔලිව් තෙල්

                – එඬරු තෙල්

                – විටමින් E කරල් 5ක්

සාදා ගන්නා ආකාරය

පොල් තෙල් ටික ළාවට රත් කොට කෝමාරිකා මදය, කොහොඹ කොළ, වද මල් කීකිරිඳිය ආදී අනිකුත් ද්‍රව්‍ය සියල්ල දමා මඳ ගින්නේ රත් කරමින් හිඳෙන්නට තබන්න.

(පැය භාගයක් පමණ) එඬරු තෙල්, ඔලිව් තෙල් සහ විටමින් E කරල් කිහිපයද කඩා එයටම එකතු කරන්න.

භාවිත කරන ආකාරය

මෙම තෙල් ටික සාමාන්‍යයෙන් මාසයකට පමණ භාවිත කළ හැකි ප්‍රමාණයට සාදාගෙන භාවිතයට ගත හැකියි. දවසක් හැර දවසක් භාවිත කරනවා නම් හිසකෙස් හැලීම සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකියි.

දිනූෂා මනෝරි නිශ්ශංක

අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය