ලස්සන ගැනම විතරක් නෙවෙයි පිරිසුදුකම ගැනත් හිතන්න

0
184

නව යොවුන් විය යනු දිවිය තුළ අප සැවොම පසුකරන්නා වූ ඉතා වැදගත් කාල පරාසයකි. ළමාවිය අවසන් කොට තුරුණු වියට පිය නඟන විටදී, ළමාවිය හා තුරුණුවිය අතර මැදි කාලය “නව යොවුන්විය” වශයෙන් තවදුරටත් හැඳින්විය හැකියි. එනිසාම මෙම කාල පරාසය අභියෝගාත්මක කාලයක් ලෙසත් හැඳින්විය හැකියි.

විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන දරුවන් මෙම කාලය තුළදී කායික හා මානසික, සමාජීය වශයෙන් විවිධ වෙනස්කම් රැසකටම භාජන වේ. ඒ අතර විශේෂයෙන් මෙම වයසේ දරුවන් තම පෞද්ගලික පවිත්‍රතාව පිළිබඳවත් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. මෙවර Her අතිරේක තුළින් අප කතාබහ කරනුයේ නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ කායික වර්ධනය සහ පෞද්ගලික පවිත්‍රතාව පවත්වාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි.

කායික වෙනස්කම්

ගැහැනු දරුවකු නම්, මෙම අවධියේදී ඇයට සිදුවන ප්‍රධානම කායික වෙනස්කම වන්නේ “වැඩිවියට පත් වීමයි”. මෙහිදී පිරිමි දරුවකු වැඩිවියට පත් වීම සහ ගැහැනු දරුවකු වැඩිවියට පත් වීම සිදුවන කාලය පරාසය තරමක් වෙනස් වේ. සාමාන්‍යයේ නව යොවුන්වියේ පසුවන ගැහැනු දරුවන් පිරිමි දරුවන්ට ප්‍රථමයෙන් වැඩිවියට පත් වේ.

සමාන්‍යයෙන් ශ්‍රී  ලංකාව තුළ අවුරුදු 11දී පමණ ගැහැනු ළමයකු වැඩිවියට පත් වේ. නමුත් බොහෝ විට මෙම කාලය අවුරුදු 08න් පසුවද ආරම්භ විය හැකියි. එය සාමාන්‍ය තත්ත්වයකි. වැඩිවියට පත් වීමට ආසන්න කාලයේදී සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ ශරීරයේ සිදුවන වෙනස්කම් කිහිපයකි. එනම්, ප්‍රථමයෙන්ම පපු ප්‍රදේශය නොහොත් පියයුරු වර්ධනය වීම ආරම්භ වේ. ඉන් අනතුරුව කිහිලි, ඉකිළි ප්‍රදේශවල රෝම වර්ධනය වීමත් ක්‍රමයෙන් සිදුවේ. මෙම ක්‍රියාවලියේ අවසාන ක්‍රියාව වශයෙන් ආර්තව චක්‍රය ආරම්භ වීම සිදුවේ.

ආර්තව චක්‍රය නොහොත් මාසික ඔසප් වීම ආරම්භ වීමට බලපාන සාධක කිහිපයකි. ඒවා නම්,

–              පවුලේ ඉතිහාසය

–              දරුවාගේ ආහාර රටාව

–              දරුවා ශාරීරික යෝග්‍යතාව (ව්‍යායාම) ආදියෙහි නිරත වනවාද/නැද්ද යන්න

–              දරුවාගේ මානසික මට්ටම (මානසික ආතතියෙන් පෙළෙනවාද නැද්ද යන වග)

මෙම සියලු කරුණුවල බලපෑම මත ගැහැනු දරුවකුගේ ආර්තව චක්‍රය ආරම්භ වන වයස් මට්ටම තීරණය වේ.

සාමාන්‍ය නිරෝගී ගැහැනු දරුවකුගේ ආර්තව චක්‍රය දින 28කට වරක් සක්‍රීය වේ. එය සාමාන්‍යයෙන් දින 03-05ක් අතර කාලයක් පවතී. එමෙන්ම සාමාන්‍යයෙන් දිනකට සනීපාරක්ෂක තුවා 03-04ක් පමණ ප්‍රමාණයක් මාරු කිරීමට සිදුවේ. නමුත් දිනකට සනීපාරක්ෂක තුවා 04කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා මාරු කිරීමට සිදුවන තරම් රුධිර වහනයක් සිදුවේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර වෛද්‍යවරයකු වෙත යොමු වී පරීක්ෂා කරගත යුතු තත්ත්වයකි.

මාසික ඔසප් වීම සිදුවන කාලයේදී ගැහැනු දරුවකු තම ශාරීරික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඔසප් සමයේදී “සිරුරේ තිබෙන අපද්‍රව්‍යය පිට වෙනවා” යැයි වැරදි මතයක් ඇතැමුන් තුළ පවතී. ආර්තවය නොහොත් මාසික ඔසප් වීම යනු “ගැහැනු දරුවකුගේ ශරීරය දරුවකු පිළිසිඳ ගැනීමට සූදානම් වීමත් එසේ පිළිසිඳ ගන්නා කලලය තැන්පත් වීමට සුදුසු පරිසරය සූදානම් කර වීමත්ය”. නමුත් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම්, ඒ සඳහා සූදානම් කරන ලද ගර්භාශ බිත්ති ගැලවී ඉත්වී රුධිරය වශයෙන් සිරුරින් පිට වේ. එලෙස පිටවන රුධිරය අපිරිසුදු රුධිරය හෝ සිරුරින් බැහැර විය යුතු අපද්‍රව්‍යය නොවේ. එනිසා තමන්ගේ සිරුරින් එලෙස රුධිරය පිටවීම සම්බන්ධයෙන් මානසික පීඩනයකට ලක්වීමට අවශ්‍යය නැත. එය සාමාන්‍ය සංසිද්ධියක් පමණයි.

සනීපාරක්ෂක තුවා

භාවිත කිරීම

 පැය 07-08ට වැඩි ප්‍රමාණයක් එකම සනීපාරක්ෂක තුවාය හැඳ සිටීම සුදුසු නැත. මෙම කාලයේදී හැකි සෑමවිටම පිරිසුදු බව හා සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමත් වැදගත්.

 ඔසප් වීම ආසන්න වන විට සහ ඔස්ප්  වීම ආරම්භ වී පළමු දිනය හෝ දෙවැනි දිනය තුළදී ඇතැම් විට උදරය හා කොන්ද ප්‍රදේශයේ වේදනාවක් ඇති විය හැකියි හෝ එවැනි මොහොතකදී පැරසිරටමෝල් පෙත්තක් වැනි වේදනා නාශක පෙති වර්ගයක් Mefenamic Acid නම් ඖෂධය වෛද්‍ය නිර්දේශය මත ලබා ගැනීම සුදුසුයි.

ඔසප් සමයේදී ස්නානය කරමින් ලිංගික අවයව අනිවාර්යෙන්ම පිරිසුදු කළ යුතුයි. මක්නිසාද මෙවැනි දිනවලදී ලිංගේන්ද්‍රිය ආශි්‍රත ප්‍රදේයේ යම් යම් ආසාදන තත්ත්වයන් ඇති වීමට වැඩි ඉඩක් පවතී. විශේෂයෙන්ම ඔසප් සමයේදී ආහාර පාන වර්ග ලබා ගැනීම සහ තමාගේ අනෙකුත් එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යා යුතුය. මෙම කාලයේදී අසාමාන්‍ය ආකාරයට අධික වේදිනාවක් ඇති වේ නම් හෝ අසාමාන්‍ය ආකාරයට රුධිර වහනයක් සිදුවේ නම් වෛද්‍යවරයකු වෙත යොමු වී පරීක්ෂා කර ගැනීම සුදුසුයි. තවද ඔසප් දිනවල ස්නානය නොකළ යුතු බවට මතයක් ඇතත් එය දුර්මතයකි.

රෝම නිවැරදි ආකාරයට

ඉවත් කිරීම

ඔබ අනවශ්‍යය රෝම ඉවත් කිරීම ස¼දහාම නිපදවූ උපකරණ භාවිත කරනවා විය හැකියි. එසේ නම් ඒ සඳහා ඉතා පිරිසුදු අලුත් උපකරණ භාවිත කළ යුතුයි. වෙනත් අයකු භාවිත කළ උපකරණ භාවිත නොකළ යුතුයි. තවද ලිංගික අවයව ආශ්‍රිත රෝම වර්ධනය වීම එතරම් ගැටලුවක් කරගත යුතු නැත. එමඟින් සිදුවන්නේ අදාළ අවයවලට ආරක්ෂාවක් සැපයීම පමණයි. ඔබගේ කැමැත්ත පරිදි අනවශ්‍යය රෝම ඉවත් කිරීමද ගැටලුවක් නැත. නමුත් එය නිසි ක්‍රමවේදයකට සෞඛ්‍යාරක්ෂිතව සිදුකළ යුතුයි. එහිදී යම් හෙයකින් ලිංගික අවයව ආශ්‍රිතව තුවාලයක්, කැපීමක් හෝ සීරිමක් වැනි දෙයක් ඇති වුවහොත් වෛද්‍යවරයකු වෙතට යොමු වී ඔෟෂධ ලබා ගත යුතුය. නිසි පරිදි අනවශ්‍යය රෝම ඉවත් නොකළ හොත් ලිංගාශ්‍රිත ආසාදන තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතී. එනිසා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වීමත් වැදගත්.

යෝනි මාර්ගය සෝදා පිරිසුදු කිරීමේදී යෝනි මාර්ගය තුළට යම් යම් දේ ඇතුළු කරමින් පිරිසුදු කිරීම නොකළ යුතුයි. විශේෂයෙන්ම වෙළෙඳපොළේ තිබෙන ඉහළ PH අගයක් සහිත විවිධ සේදුම්කාරක ද්‍රව්‍යය භාවිත කිරීම සුදුසු නැත. ගැහැනු දරුවකුගේ යෝනි මාර්ගය තුළ PH අගය ඉතාම අඩු මට්ටමක පැවතිය යුතුය. යෝනි මාර්ගයේ නිරෝගී බව සහ නිවැරදි ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යෑමට එය වැදගත් වේ. තවද යෝනි මාර්ගය තුළ එයටම ආවේණික වූ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් පවතින අතර විවිධ සේදුම්කාරක ද්‍රව්‍යයන් භාවිතයෙන් ලිංගාශ්‍රිත ප්‍රදේශ සේදීම තුළ එහි පැවතිය යුතු PH අගය වෙනස් වේ. එමඟින් විවිධ ආසාදනය තත්ත්වයන් පවා ඇති විය හැකියි. එනිසා සෑමවිටම පිරිසුදු ජලයෙන් සෝදා පිරිසුදු කිරීම ප්‍රමාණවත්ය.

පිරිමි දරුවන් වැඩිවියට පත් වීම

පිරිමි දරුවකුගේ වැඩිවියට පත් වීම අවුරුදු 13-14 පමණ කාලය දක්වා ප්‍රමාද විය හැකියි. සාමාන්‍යයෙන් එහිදී දැකගත හැකි ලක්ෂණ කිහිපයකි.

–              වෘෂණ කෝෂ හා ශිෂ්ණය ඇතුළුව ප්‍රජනක පද්ධතිය විශාලවීම.

–              කටහඬ ගොරෝසු වීම

–              ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව සහ සිරුරේ රෝම වර්ධනය වීම.

–              මාංස පේශීන් වර්ධනය වීම.

–              වැඩිපුර දහදිය දැමීම

වැනි වෙනස්කම් ඇතිවේ. පිරිමි දරුවන්ගේ වැඩිපුර කුරුලෑ ඇති වීමත් සිදුවේ. ඒ සඳහා Testosterone සහ අනෙකුත් පිරිමි හෝර්මෝනවල ක්‍රියාකාරීත්වය වැඩිවීම හේතුවේ. කුරුලෑ නියපොතුවලින් නොකඩා සෑමවිටම පිරිසුදු ටිෂූ එකකින් පිරිසුදු කිරීමත්, නිතර මුහුණ හොඳින් පිරිසුදු කිරීම සහ ස්නානය කිරීමත් සනීපාරක්ෂක බව පත්වාගෙන යෑමත් වැදගත්ය.

ලිංගික අවයන් හඳුනා ගැනීම,  ස්වයං වින්දනය, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වැඩි වීම

විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණය වීම සහ ලිංගික ඉන්ද්‍රීයන් පිළිබඳව මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් පිළිබ¼දව වැඩි කුතුහලයක් ඇති වීම මෙම වයසේදී සාමාන්‍යයෙන් සිදුවේ. එනිසාම නව යොවුන් වියේ පාසල් නිර්දේශය තුළටද ප්‍රජනන සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇතුළත් කොට තිබේ. ඔබත් නව යොවුන් වියේ පසුවන දරුවකු නම් ලිංගික අධ්‍යාපනය සඳහා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට වැදගත්. එනිසා එය පිළිබඳව අනිසි ලෙස බිය වීම හෝ  කුතුහලයක් ඇති කර ගැනීමට අවශ්‍යය නොවේ.

අවුරුදු 10-19 අතර නව යොවුන් වියේ පසුවන ඔබට ඕනෑම ලිංගික, සමාජයීය ගැටලුවකට ලංකාව පුරා පිහිටා ඇති සාමන්‍ය සෞඛ්‍ය කාර්යාල සහ ඔබ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, රෝහලේ යොවුන් පියස වැනි ස්ථානවලට ගොස් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

ගැහැනු දරුවන් හට අවුරුදු 11දී පාසලේ 6 ශේ‍ර්ණියේදී පාසලේදී Human Papilloma Virus (HPV) එන්නත අනිවාර්යෙන්ම ලබා දීම සිදුකරයි. මෙමඟින් ගැබ්ගෙල පිළිකාව වැලඳීම වළක්වා ගැනීමත් ඒ සඳහා අවශ්‍ය අදාළ ප්‍රතිශක්තීකරණය ලබා දීමත් සිදුවේ. මෙම එන්නත අවුරුදු 11-26 අතර ඕනෑම ගැහැනු දරුවකුට පළමු ලිංගික ක්‍රියාකාරකම සිදු කිරීමට ප්‍රථම ලබා ගැනීමේ හැකියාව ඇත.

පාසල් අධ්‍යාපනය ලබන යොවුන් වියේ දරුවන් ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු වීම අනුමත කළ නොහැකි නමුත් නව යොවුන්වියේ පසුවන ඔබ යම් හෙයකින් හදිසි ලිංගික එක්වීමකට යොමු වනවා නම් ඒ සඳහා නිසි ආරක්ෂක උපක්‍රම සහ නිසි පවුල් සැලසුම් පෙති (ගිලින පෙති හෝ කොන්ඩම් වැනි ආරක්ෂිත කොපු පැලඳීම) අනිවාර්ය වේ. වඩාත් වැදගත් වන්නේ නිසි වයස එළැඹෙනතෙක් එවැනි ක්‍රියාවන්ට යොමු නොවීමය.

කොන්ඩම් එකක් නොහොත් ආරක්ෂිත කොපුවක් භාවිත කිරීමෙන් ලැබෙන වාසි කිහිපයකි. එනම්, අවනශ්‍ය ගැබ් ගැනීම් සිදු නොවීම, සිපිලීස්, ගොනෝරීයා, HIV, හෙපටයිටීස් වැනි ලිංගාශ්‍රිත බෝවන රෝග වළක්වා ගත හැකි වීමයි.

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු පැය 72ක් ඇතුළත ලබාගත යුතු ඔෟෂධ වර්ග තිබෙන අතර ඒවා වෛද්‍ය අනුදැනුම මත ලබා ගැනීම වැදගත්.

නමුත් ලංකාවේ නීතියට අනුව අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු සමඟ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම නීතියෙන් අවසර හිමි නොවේ. එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ.

මුඛ සෞඛ්‍ය

ක්ලෝරයිට් අඩංගු සුදුසු දන්තාලේපයකින් දිනකට 02ක් දත් මැදීම අනිවාර්යය වේ. නින්දට යෑමට ආසන්නයේදී පෙර අධික ලෙස සීනි අඩංගු පැණි රස කෑම-බීම ආහාරයට ගැනීම නොකළ යුතුයි. එමඟින් දත් හා විදුරුමස් ආශ්‍රිත රෝග ඇතිවීම, දත් දිරා යෑම ඇති ඉඩකඩ වැඩි වේ.

මාස 06කට වතාවක් දන්ත වෛද්‍යවරයකු වෙත යොමුව දත් පරීක්ෂාවක් කරගැනීමත් සුදුසුයි. දත් මැදීමේදී ඉතාම රළු ආකාරයට දත්වලට, එනමලයට සහ විදුරුමසට හානි වන ආකාරයට දත් මැදීමත් නොකළ යුතුයි. තවද විදුරුමස් දියවීම වැනි මුඛය ආශ්‍රිත විවිධ ගැටලු හෝ ලෙඩ රෝග ඇතිනම් හැකි ඉක්මනින් ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුයි.

වෛද්‍ය උපදෙස් මත මුඛයේ නැවුම් බව ආරක්ෂා කරන මුඛ සේදුම්කාරකයක් ලබා ගැනීමද සුදුසුයි.

සමබල ආහාර වේලක් ලබා ගැනීම

නව යොවුන් වියේ දරුවන් බොහෝ විට අධික ස්ථූලතාවයෙන් පෙළෙති. ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර, පැණි බීම වර්ග, පිසූ ආහාර සහ පෙර සැකසූ ආහාර මෙන්ම මේදය, පිෂ්ටය, සීනි සහ ලුණු අධික ආහාර නිතර ආහාරයට ගැනීම එයට හේතුවේ. කබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන්, විටමින්, ඛනිජලවණ, මේදය යන පෝෂණ කොටස් සියල්ලෙන්ම සමබල ආහාරවේලක් ලබා ගැනීම තුළින් මෙම තත්ත්වය මඟහරවා ගත හැකියි.

දිනකට පැය භාගය බැගින් සතියකට දින 05ක් හෝ අවම වශයෙන් ව්‍යායාම කිරීම, ජලය වැඩිපුර පානය කිරීම, කොළ පැහැති එළවළු, පලතුරු, කොළ වර්ග වැඩිවශයෙන් ආහාරයට ගැනීම මත අවුරුදු 30-40 වන විට ඇති විය හැකි දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගී තතත්ත්වයන් වළක්වා ගත හැකියි.

රාත්‍රි ආහාරයෙන් පැය 02කට පසුව නින්දට යෑමත් අනිවාර්යෙන්ම කළ යුතුයි.

දිනූෂා මනෝරි නිශ්ශංක

වෛද්‍ය
ගයාන් ගමගේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
හම්බන්තොට