රාජකීය- ශාන්ත තෝමස් 143වැනි ‘නිල් මහා සටන’ විසඳුමක් නැති වෙයි

0
22

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර දින 3ක් පුරා කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති 143වැනි “නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 242ක් රැස්  කළ අතර, පිළිතුරු ඉනිම දියත්කළ රාජකීය පිල කඩුල 8ක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කර සිටියදී තම ඉනිම අත්හිටුවීය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයේ පන්දුවාර 40කට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ අතර, තරගය නිමාවන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් ශාන්ත තෝමස් විද්‍යාලයපන්දුවාර 64කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 142ක් රැස් කළේය. දෙවැනි ඉනිම වෙනුවෙන් නායකත්ව ඉනිමක් දියත්කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක රයන් ප්‍රනාන්දු පන්දු 117කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 74ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර, කවිඳු ඩයස් (ශාන්ත  තෝමස්) දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, උවිඳු වීරසේකර (රාජකීය) දක්ෂතම පිතිකරු ලෙසත්, සදිෂ රාජපක්ෂ තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ.

ශාන්ත තෝමස් පළමු ඉනිම 242 (සෙනේෂ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් 51, ගිෂාන් බාලසූරිය 56/3) 

රාජකීය විද්‍යාලය පළමු ඉනිම 219/8 (උවිඳු වීරසේකර 66, රමිරු පෙරේරා 34, කවිඳු ඩයස් 65/4)

ශාන්ත තෝමස් දෙවැනි ඉනිම 142/6 (රයන් ප්‍රනාන්දු 74, සෙනේෂ් හෙට්ටිආරච්චි 26, ගිෂාන් බාලසූරිය 56/3) 

ඉෂාන් රශ්මිත