රනිල් රාජපක්ෂ වැඩ ඇල්ලුවේ ගාලුමුව‍ෙදාර අරගලකරුවන්ට පහරදීලයි

0
37

“රනිල් රාජපක්‍ෂගේ ආණ්ඩුව ගෝල්ෆේස් ප්‍රහාරයට පටන් ගත්තේ මුලින්ම, එතැන සිට හිඟන්නන්ට ගහලා” යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර පැවැසීය.

ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.

 ගුණසේකර මහතා  වැඩිදුරටත්  මෙසේ අදහස් දැක්වීය.

“රනිල් රාජපක්‍ෂ විසින් දියත් කරමින් ඉන්න රාජ්‍ය මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය මේ රටේ බහුජනතාවත් එක්ක එකතුව නැඟී සිටිනවා. රනිල්  රාජපක්‍ෂගේ පළමුවැනි වැඩ ඇල්ලීම හැටියට ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්ට නින්දිත ලෙස ප්‍රහාර එල්ල කිරීම හෙළා දකිනවා. ගෝඨාභය රාජපක්‍ෂටත් ඔහුගේ ආණ්ඩුවටත් දේශපාලනය හකුළාගෙන යන්න කියලා දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැඟුණා.

මාස 3කට ආසන්න කාලයක් පැවැති සාමකාමී අරගලයේ සන්ධිස්ථානයකදී ජූලි 09 වැනිදා රට පුරාම විරෝධතාකරුවන් කොළඹට ඒකරාශී වී සංකේතාත්මකව ජනාධිපති මන්දිරයත් අරලියගහ මන්දිරයත් අත්පත් කරගත්තා. ඔවුන් එහෙම කළේ දේශපාලන අනුග්‍රහයෙන් රට පුරා ඉඩම් අල්ලනවා වගේ දෙයක් නෙවෙයි. ඉන්න තැනක් නැතිව කළ දේකුත් නෙවෙයි. ලෝකයේ අරගල කරන විවිධ ආකෘති තිබෙනවා. ලංකාවේ කළේ ඔවුන්ගේ මන්දිර සංකේතාත්මකව අත්පත් කරගෙන අරගලකරුවන්ගේ සාමූහික තීරණයකින් ඒ තැන්වලින් ඉවත් වෙන්න කටයුතු කරමින් සිටීමයි.

දේශපාලනය වෙනස් වීම් අනුව මේ මන්දිර ආපසු ලබාදෙන්න අරගලකරුවන් ගත් තීරණය නීතිඥවරු මාර්ගයෙන් කොටුවේ පොලිසියටත් අනෙකුත් ආයතනවලටත් දැනුම් දුන්නා. ජනාධිපති මන්දිරයේ පුස්තකාලයක් පවත්වාගෙන ගිය ආසන්නයට පැමිණි හමුදා නිලධාරින් දෙදෙනෙක් ඉවත් වන වේලාව අපෙන් විමසුවා. ඔවුන්ට අපි පසුවදා දහවල් දෙකට ඉවත් වන බව දැනුම්දී තිබුණා. එහෙම තියෙද්දීත් තුච්ඡ ප්‍රහාරය එල්ල කිරීම පටන් ගත්තේ කොළඹ යාචකයන්ට පහර දීමෙන්. රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව ගෝල්ෆේස් ප්‍රහාරය පටන් ගත්තේ හිඟන්නට ගහලා. ඒ වගේම බිහිරි ප්‍රජාව, අම්මා තාත්තලා සමඟ දරුවෝ, අරගලයට එකතු වී සිටි ආබාධිත රණවිරුවන්ට සහ අරගලකරුවන්ට උදළු මිටි සහ කේබල්වලින් නින්දිත ලෙස පහර දුන්නා.

නාවික හමුදාව විසින් අරගලකරුවන් පස් දෙනෙක් සෙලින්කෝ මන්දිරය දෙසට ගෙන ගොස් අමානුෂික ලෙස වධදී තිබුණා. රනිල් රාජපක්‍ෂ ආරම්භ කළ මේ මර්දයට එරෙහිව අපි සටන් කරනවා. මෙතැන නීත්‍යනුකූල ඉවත් කිරීමක් සිදුකළා නම් රාත්‍රියේ පැමිණ මාධ්‍යවේදීන්ට පවා පහර දෙන්නේ මොකටද? අත්අඩංගුවට ගත් අය බලන්න පැමිණි නීතිඥවරුන්ට සහ පූජකවරුන්ට බීමතින් හිටපු ප්‍රහාරකයන් තර්ජනය කර තිබුණා. “උඹලව බේරගන්න ආව ලෝයර්ස්ලට චූ යන්න ගැහුවා, හාමුදුරුවන්ගේ සිවුර කරේ ඔතාගෙන යන්න ගැහුවා” ආදී වශයෙන් කියලා තිබුණා.

ප්‍රහාරයට ආව අය හඳුනා ගැනීමේ නිල කිසිදු සලකුණක් නැහැ. මැර කල්ලියක් ලෙස ක්‍රියාත්මක වුණා. ගෝඨාභය – මහින්ද ගිය පාරේම රාජපක්‍ෂ කල්ලියේ හොඳම ආරක්‍ෂකයා වන රනිල් ගමන් කරමින් ඉන්න බව පේනවා. රනිල් අපේ රටේ ජනාධිපති හැටියට අපි පිළිගන්නේ නැහැ. 69 ලක්‍ෂයක ජන මතය ලැබුණේ ගෝඨාභය සහ මහින්දට. ඒ ජන මතය රනිල් රාජපක්‍ෂ කොල්ල කමින් සිටිනවා. ඔහුගේ පළමුවැනි වැඩේ හැටියට ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන විරෝධය දැක්වීමේ අයිතිය මර්දනය කළා. ඒ මර්දනයට සමාජවාදී තරුණ සංගමය යට වෙන්නේ නැහැ. මේ රටේ තරුණයන්, සිවිල් ජනතාව ඇතුළු සියලුදෙනා එක්ක එකට එකතු වෙලා මේ තත්ත්වය පරාජය කරන්න සියලු පියවර ගන්නවා.

74 වසරක් තිස්සේ පාලනය කළ හොරු පන්නා, හොරා කාපු සල්ලි නැවත අත්පත් කර ගැනීමේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවලා අලුතින් මහජන නියෝජිතයන් පත්කර ගැනීමට අපි නායකත්වය දෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර, සංවිධාන, තරුණ තරුණියන් සියල්ලන්ටම අපි ආරාධනා කරනවා රනිල් එළවලා දිනේෂ්ලා ජනාධිපති කරන ගේමක් නෙවෙයි අපට තිබෙන්නේ. 74 වසරක දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණයි අපට තිබෙන්නේ. මේ සටන අවසන් වෙන්නේ නූතන නිදහස් අරගලයක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පමණයි.

නීතිඥ සුසන්ත ‍ෙදාඩාවත්ත

ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්ට ප්‍රහාරය දියත් කිරීමේදී නීතිය අවභාවිත කර තිබෙන්නේ කොහොමද කියලා මූලික අවධානයක් යොමු කරනවා. ජාත්‍යන්තරව පවා පුදුමයට පත්කළ අරගලයක් ශ්‍රී ලංකාව තුළ නෛතික  රාමුවට එකඟව සිදුකළා. ජූලි 09 වැනිදා රටේ සමස්ත ජනතාව කොළඹට ඒකරාශී වෙලා කළ අරගලයෙන් ස්ථාන 03ක් ඔවුන්ගේ භාරයට ගත්තා. ජනාධිපති මන්දිරය සහ අගමැති කාර්යාලය පසුවදාම ඔවුන් විසින් භාරදී තිබුණා. අවසාන වශයෙන් අරගලකරුවන්ගේ සන්තකයේ තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය විතරයි. මේ ගොඩනැඟිල්ලත් අරගලකරුවන් විසින් භාර දෙන බව ලිඛිතව දැනුම්දී තිබියදී මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ කුමක්ද? මෙතැන තිබුණේත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අරමුණක්  විතරයි. පාර්ලිමේන්තුවට 69 ලක්‍ෂයකගේ ඡන්දයෙන් පැමිණි පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට වඩා තමන් වැඩකාරයෙක් බව පෙන්වීමට රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රහාරයට ආරක්‍ෂක අංශ යොමුකර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥවරයෙක් හැටියට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැජ්ජා වෙන්න ඕනෑ. මෙවැනි නිහීන ප්‍රහාරයක වගකීම පොලිස් දෙපාර්තමේන්තුව භාරගන්නේ අධිකරණය ඉදිරියේදී බොහෝ කරුණු හෙළිවීමෙන් පසුවයි. 22 වැනිදා අධිකරණයකින් හෙළිකළ කරුණු සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක 23 වැනිදා මාධ්‍යයට හෙළිකළ කරුණු එකිනෙකට වෙනස්. එතකොට උසාවියේදී ඇත්ත කීවාද මාධ්‍ය හමුවේදී ඇත්ත කීවාද කියල ප්‍රශ්නයක් එනවා. අධිකරණයේදී කීවේ හදිසි නීතිය පනවා ඇති තත්ත්වයකදී හමුදාව කැඳවීම නීත්‍යනුකූල බවයි. නමුත් හමුදාව  කැඳවිය හැකි වන්නේ යම් තත්ත්වයක් පොලිසියට පාලනය කරගත  නොහැකි නම් පමණයි. නමුත් පොලිසිය විසින් එවැනි තත්ත්වයක් පාලනය කිරීමට කිසිදු උත්සාහයක් ඊට පෙර දැරුවේ නැහැ. එසේ කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ තත්ත්වයක් තුළ හමුදාව කැඳවා තුච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බව පිළිගෙන තිබෙනවා.

අපේ රටේ නිල හමුදාව යොදවා ප්‍රහාරය එල්ල කළ බවට පිළිගන්න සාධක නැහැ. හමුදාවේ යැයි කියාගන්නා පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කර මුහුණු ආවරණය කරගෙන නිල අංක හෝ නමක් කිසිවක් නැති ඇඳුම්වලින් සැරසී සිටි පිරිසක්. නමුත් මෙය පොලිසිය මැදිහත්වීමෙන් සිදුවූ ක්‍රියාවලියක් බව පොලිසිය පිළිඅරන් තිබෙනවා. මේ ප්‍රහාරය කිසිදු නීතිමය හෝ සදාචාරමය පසුබිමක් නැතිවයි සිදුකර තිබෙන්නේ.

උදලු මිටවල්, වෙනත් පොලු සහ කේබල් යොදාගෙන අවම බලය භාවිත කළ බව කියනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන සියලු මාර්ග වසා දමා පුද්ගලයන් කොටුකර ප්‍රහාරය එල්ල කළා. තැනැත්තන් ඉවත් කිරීම සඳහා මෙය කළා නම් එය කිසි සේත්ම සත්‍යයක් නොවන බව කොටු කිරීමෙන් පැහැදිලියි. අත්අඩංගුවට ගත් අය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින්ද යන්න ප්‍රශ්න කර තිබුණා. පොලිසිය කියා තිබුණේ යුද හමුදාවෙන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බවයි. අත්අඩංගුවට ගත් අයට එරෙහිව චෝදනා ලෙස ඉදිරිපත්  කළේ නීති විරෝධී රැස්වීමකට සහභාගි වීම, පොදු දේපළවලට හානි කිරීම  සහ රාජකාරියට බාධා කිරීම වගේ චෝදනා.

අධිකරණය නැවත විමසා සිටියා, නීතිවිරෝධී රැස්වීම කවදාද? කොතැනද? තිබුණේ කියලා. රට පුරා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ජූලි 09 වැනිදා සිට මේ පරිශ්‍රයට ඇවිත් ගියා. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වූයේ කොයි අවස්ථාවේ දැයි ප්‍රශ්න කිරීම ඉදිරියේ පොලිසිය නිරුත්තර වුණා. පොදු දේපළවලට හානිකර තිබෙන්නේ කුමන අවස්ථාවේදීද කවුරුන් විසින්ද මේ ඉදිරිපත් කර තිබෙන තැනැත්තන් සිදුකර තිබෙන පොදු දේපළ හානි කිරීම් මොනවාද යනුවෙන් ප්‍රශ්න කළා. පොලිසිය නිරුත්තර වුණා.

රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කුමන නිලධාරියාගේ රාජකාරියට බාධා කළාද කවුරුන් විසින්ද ඒ බාධාව කළේ යන ඉතාම වැදගත් ප්‍රශ්න දෙක නැඟුවා. එතැනදීත් පොලිසියට උත්තර නැතිවුණා. පොලිසියෙන් කිසිදු කටඋත්තරයක් ලබාගෙන තිබුණේ නැහැ. යුද හමුදාව හෝ විශේෂ කාර්ය බළකාය යැයි කියාගන්නා තැනැත්තන් අත්අඩංගුවට ගත් අයගේ කිසිදු ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. එහෙනම් මේ අය සැබෑ ලෙසම ආරක්‍ෂක අංශවලට සම්බන්ධ අයද කියලා බරපතළ සැකයක් මතුවෙනවා. අධිකරණය විසින් පළමු අවස්ථාවේදීම සැකකරුවන්ට ඇප ලබා දුන්නේ මේ පසුබිම නිසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මීට වෙනස්  කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න අහනකොට ඉතා අසරණ වුණා. විදේශ මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ගැන විමසූ අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ පොලිසියට එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවයි. ඔහු නීතිඥවරයෙක් ලෙස ලැජ්ජා වෙන්න ඕනෑ. අපරාධයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් පොලිසියට ඇවිත් පැමිණිල්ලක් කරන්න ඕනෑ නැහැ. යම් ආකාරයකින් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙනවා නම් පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම තමයි නීතිය.

ඉතාමත් පැහැදිලිව යම් දේශපාලන න්‍යාය පත්‍රයකට මේ සිදුවීම ලඝු කර චූදිතයන් එළියෙන් තියලා වින්දිතයන් චූදිතයන් කරලා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලියි. අරගලකරුවන්ට වෙනත් ස්ථානයක් ලබාදීමේ සූදානමක් තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක යම් ඉඟියක් කළා. මහජන අරගල කියන්නේ ආණ්ඩුව ලබාදෙන තැන්වලට ගිහින් විරෝධතා දක්වන්න නිවාඩු නිකේතනවලට මාරු වෙමින් යන පිරිසක් වගේ නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිගෙන තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය, සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමයි.

අරගලය ආරම්භ වූ දා සිට අරගල භූමිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝග 95%කට වැඩිය ප්‍රතික්‍ෂේප වෙලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ පාලකයන් ලබාදෙන තැන්වලට ගිහින් අරගල කරන්න කිසිවකුත් සූදානම් නැහැ. රට පුරා අරගල පැනනැඟී තිබෙන්නේ මේ අනුවයි. ඒ වගේම රට පුරා ඕනෑම තැනක සමාකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තිබෙන බව අපි අවධාරණය කරනවා.

මෙම ප්‍රහාරයෙන් තුවාළ ලැබූවන් රෝහල්ගත කරන්නවත් ආරක්‍ෂක අංශයේ යැයි කියාගන්නා අය ඉඩ දුන්නේ නැහැ. එතැන සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පහසුවෙන්ම නඩු පැවැරීමේ හැකියාව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් වගකීම භාර ගැනීම නිසා එය වඩාත් පහසුයි. මේ වනවිටත් අදාළ නීතිමය කටයුතු කිරීමට නීතිඥ ප්‍රජාව කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කරනවා.

අනුරාධා හේරත්