මී කඩන්න ගිය මිතුරන් දෙදෙනාට වල් අලි ගහලා

0
30

මී කැඩීම සඳහා පෙරේදා (23දා) දහවල් මිහින්තලේ, මහකනදරාව ප්‍රදේශයේ මහ වනයට ගිය පුද්ගලයන් දෙදෙනකු වල් අලි ප්‍රහාරයකට ලක්වීමෙන් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇත.

පෙරේදා (23දා) පෙරවරු 11.00ට පමණ මී කැඩීමට වනයට ඇතුළුවී ඇති ඔවුන් එදින සවස 3.00ට පමණ මහ වනයේ ගමන් කරමින් සිටියදී කුරිංජන්කුලම වැව අසලදී මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත. ඔවුන් කහටගස්දිගිලිය කුකුලෑව, සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම ප්‍රහාරයෙන් ඔෟෂධ හාමිගේ ගුණසේකර නමැති අයකු මියගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මේ අතර වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔෟෂධහාමිගේ ජයතිලක නමැති අය අලියාගෙන් මිදී වනයෙන් පිටතට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් තම ඥාතීන්ට දැනුම් දීමෙන් පසු ඔහු සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ

රෝහලට ඇතුළත් කොට තිබේ. අනතුරුව ඔහු සමඟ මී කැඩීමට වනයට ගිය අනෙක් පුද්ගලයා වන ඔෟෂධහාමිගේ ගුණසේකර නමැති අය ඔහුගේ පවුලේ ඥාතීන් විසින් සොයා බැලුවද තොරතුරක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ බව මිහින්තලේ පොලිසිය වෙත දැනුම්දී පසුව ඒ මඟින් අනරාධපුර වනජීවී අඩවි කාර්යාලයට දැනුම්දී ඇත.

අනතුරුව වනජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමකින් පසු සවස 5.30ට පමණ බරපතළ තුවාල ලබා වැටීසිටි ඖෂධහාමිගේ ගුණසේකර නමැති අය සොයා ගැනීමට හැකිව ඇත. පසුව ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට අනුරාධපුර රෝහල මඟින් මිහින්තලය පොලිසිය වෙත දැනුම්දී ඇත. මිහින්තලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අනුරාධපුර – පර්සි කුරුනේරු