මහනුවර නගරය ඩෙංගු අවදානමේ

0
32

මෙම වසරේ ජනවාරි සිට ජූලි 20 වැනිදා දක්වා නාගරික සීමාවෙන් ඩෙංගු රෝගීන් 735ක් වාර්තා වී තිබෙන බවත් ඉන් 262 දෙනකු පාසල් ළමයින් බවත් මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා පවසයි.

මෙම මස මුල් දින 20 තුළ මහනුවර නගර සීමාවෙන් හඳුනාගත් ඩෙංගු රෝගීන් 279ක් අතරින් 123 දෙනකුම පාසල් ළමයින් බවද ඒ මහතා කීය.

පසුගිය මැයි හා ජුනි මාසවලදී මහනුවර නාගරික සීමාවේ පරීක්‍ෂාවට ලක් කළ පාසල් 32ක් අතරින් 31ම ඩෙංගු මදුරුවන් සිටි බවත් ඇතැම් පාසල්වල ඩෙංගු කීටයන් සහිත ස්ථාන 10ක් හඳුනා ගත් අවස්ථා තිබුණු බවත් ඔහු පැවැසුවේය.

මේ වනවිට පාසල් වසා තිබෙන බැවින් ජූලි මස වාර්තා වූ පාසල් ළමයින් සියලුදෙනා ඩෙංගු වයිරස් ආසාදිතයන් බවට පත්ව තිබෙන්නේ ගෘහාශ්‍රිත පරිසරයෙන් බවත් පාසල් විවෘත කිරීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් අපේක්‍ෂා කළ හැකි බවත් ඒ මහතා කීවේය.

දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම නිසා මේ වන විට පාසල් පරිසරය ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානවලින් ගහන වීමට වැඩි ඉඩක් තිබෙන බවත් මේ නිසා පාසල් විවෘත කිරීමට පෙර පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බවත් ජයසිංහ මහතා කීය.

මේ වනවිට මහනුවර නගර සීමාවෙන් දෛනිකව ඩෙංගු රෝගීන් 10-15ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් පවතින ආර්ථික ගැටලු හා ඉන්ධන ප්‍රශ්න හේතුවෙන් රෝගීන් හඳුනා ගැනීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවන බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසුවේය.

ප්‍රතිකාර සඳහා යොමු වීමේදී දරන්නට සිදුවන වියදම් ඉහළ යෑම නිසා උණ රෝගයෙන් පෙළෙන වැඩි දෙනකු වෛද්‍යවරයකු වෙත නොගොස් පැරසිටමෝල් වැනි දෙයක් පාවිච්චි කර නිවෙසට වී සිටින්නට උත්සාහ කරන බවද ඒ මහතා කීය.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් පමණක් රෝගය පාලනය කළ නොහැකි බවත් මදුරු දෂ්ට කිරීම් අවම කර ගැනීමේ කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් හෙතෙම පැවැසුවේය.

මහනුවර – කේ. එල්. සුරවීර