බිරියත් දරුවත් හිතවතකුගේ නිවෙසට ඇරලවද්දී සැමියා කාරයක ගැටී මියයයි

0
26

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රළපනාව ජනපද මංසන්ධියට නුදුරින් පෙරේදා (23දා) රාත්‍රි නවයට පමණ පාපැදියක් කාර් රථයක ගැටීමෙන් පැදිකරු මියගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ සුවසෙවණ මාවත, හිරියාලේගම ප්‍රදේශයේ පදිංචි එන්.එච්. නිහාල් රණසිංහ (56) තිදරු පියෙකි. සිංහාරගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීම සඳහා යතුරුපැදිය පෝලිමේ තබා පාපැදියෙන් හිතවතකුගේ නිවෙස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත. අදාළ කාර් රථයද එම පිරවුම්හලේම ඉන්ධන පෝලිම වෙත යමින් තිබූ කාර් රථයකි.

අනතුර සිදු වූ දින (23දා) සවස මියගිය අයගේ බිරිය සහ දරුවා පළමුව සිංහාරගම ප්‍රදේශයේ පිහිටි පිරවුම්හල වෙත ගොස් සිය යතුරුපැදිය පෝලිමේ නවතා තබා ඇත්තේ පසුදින (24දා) උදෑසන ඉන්ධන ලබාගැනීමේ අරමුණ ඇතුවය. මියගිය අය ඔවුන් දෙදෙනාට රාත්‍රි ආහාරයද රැගෙන පිරවුම්හල වෙත ගොස් යතුරුපැදිය පෝලිමේ නවතා තබා තිදෙනාම රළපනාව ජනපදය ප්‍රදේශයේ පිහිටි තම හිතවතකුගේ නිවෙස කරා යමින් සිට ඇත්තේ බිරිය සහ දරුවා එම නිවෙසේ නවතා නැවත ඉන්ධන පෝලිම වෙත යෑමේ අරමුණ ඇතිවය. තිදෙනාම හිතවතාගේ නිවෙස වෙත යමින් සිටියදී මෙලෙස කාරයේ ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පාපැදිය තල්ලු කරමින් බිරිය සහ දරුවා සමඟ නොච්චියාගම දෙස සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබීමෙන් පසුව ප්‍රදේශවාසීන් එක්ව නොච්චියාගම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

අදාළ කාරය පැද වූ අයද තම ලොරිය නොච්චියාගම පිරවුම්හලක පෝලිමේ නවතා තම කාරය සිංහාරගම පිහිටි පිරවුම්හල වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. නිකවැව හන්දිය ප්‍රදේශයේ පදිංචි කාර් රියැදුරා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (24දා) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය

ඊයේ (24දා) නොච්චියාගම දිසා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. නොච්චියාගම පොලිස් ස්ථානාධිපති එම්.එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රේමතුංග (35275), සමන් (46812) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

නොච්චියාගම – ඒ.ඩී.යූ. කුමාර