පොලිසියට බාධා කළ තිදෙනෙක් ඉන්ධනහල් තුනකදී අත්අඩංගුවට

0
9

මාළු කපන පිහියකින් සහ මුවහත් කියතකින් ඉන්ධන පිරවුම් හල්වල රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදීමට සැරසුණු හා ටිපර් රථයක් හැප්පීමට ලක්කළ පුද්ගලයන් තිදෙනකු ඉන්ධන හල් තුනකදී කුරුණෑගල ඇල්ල සහ පිළියන්දල පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක් සිදුවීමක් වාර්තා වන්නේ කුරුණෑගල පොලිස්බල ප්‍රදේශයෙනි.

ඉකුත් 23 වැනි දින කුරුණෑගල ගෝනගම ඉන්ධන පිරවුම්හලේ පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී බීමත්ව පැමිණි පුද්ගලයකු ඉන්ධන පෝලිමට පිටතින් පැමිණ ඔහුගේ යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට සැරසී ඇත.

එහි සිටි පොලිස් නිලධාරීන් ඊට විරුද්ධව කටයුතු කිරීමේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.

එම අවස්ථාවේ නිලධාරීන් එම පුද්ගලයා අල්ලා ගැනීමට තැත් කිරීමත් සමඟ ඔවුන්ගෙන් මිදුණු ඔහු මාළු වෙළෙඳසළකට ගොස් පිහියක් රැගෙන පැමිණ පොලිස් නිලධාරියාට පහරදී තිබේ.

නිලධාරීන් විසින් එම පහරවල් වළකාගෙන ඇති අතර ඉන් බේරීම සඳහා එක් නිලධාරියකු ඔහු සතුව තිබූ අත්විලංගුවකින් සැකකරුට පහරදී ඇත. එම පහරදීමේදී සැකකරුගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඉන්ධන පිරවුම්හල අසල සිටි පිරිස සැකකරු මෙල්ල කරගෙන තිබේ.

ඒත් සමඟ බීමත්ව සිටි තවත් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

පසුව තුවාල ලත් සැකකරු වාරියපොළ දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පහරදීමට රැගෙන ආ මන්න පිහියද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

මේ අතර අනෙක් සිදුවීම වාර්තා වූයේ පිළියන්දල පොලිස් වසමෙනි.

ඉකුත් 22 වැනිදා රාත්‍රි කාලයේදී පිළියන්දල පොලිස් වසමේ මඩපාත ඉන්ධනහලේදී ඉන්ධන නිකුත් කිරීමට අවසර නොලද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඉන්ධන ලබාගැනීමට ගත් උත්සහයක් වළකාලමින් නිලධාරීන් විසින් අවස්ථා දෙකකදී හරවා යවා ඇත.

පසුව එම පුද්ගලයා එතැනින් පිටවගොස් ලොරි රථයකින් පැමිණ ලොරි අංකයට අනුව ඉන්ධන ඉල්ලා ඇත. එහෙත් නිලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් ලොරියට එදිනට ඉන්ධන නිකුත් කිරීමට නොහැකි බව පවසා සිටීමත් සමඟ පිටව ගියද එම පුද්ගලයා නැවත වරක් එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණ රාජකාරියේ යෙදී සිටි උපපොලිස් පරීක්‍ෂකවරයකුට මුවහත තබා තිබූ අත් කියතකින් පහරදීමට තැත්කර ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇතත් රාජකාරියේ යෙදී සිටි සෙසු නිලධාරීන් ඔහුව අල්ලා ගැනීමට සමත්වී ඇත.

මේ අතර ඉකුත් 22 වැනි දින රාත්‍රියේදී ඇල්ල පොලිස් වසමේ ඉන්ධන පිරවුම් හලකදී ටිපර් රථයක් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ ශරීරයේ ගැටීමට සලස්වා තිබේ.

ඉන් තුවාල ලත් පොලිස් නිලධාරියා රෝහල්ගත කර ඇති අතර සිද්ධියට අදාළ රියැදුරා අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බීමත්ව ඇති බවට අනාවරණය වී ඇත. සැකකරු ඇල්ල කුඹල්වල පදිංචි අයෙකි.

කීර්ති මෙන්ඩිස්