පොලිසියට කැත්තෙන් කෙටූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

0
15

තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයකු පිටිගල පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත. පිටිගල පොලිස් වසමේ තල්ගස්පේ මාහේන ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරියකුට පුද්ගලයකු විසින් කැත්තකින් පහරදී තුවාල සිදුකළ බවට ඉකුත්දා (23දා) දහවල් 119 හදිසි ඇමතුම් අංශයට දුරකථන පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇත. 

පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ කොස්තාපල් කරුණාරත්න (78812) මහතාය. පිටිගල පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ ස්ථානයට ගොස් තුවාල ලැබ සිටි කොස්තාපල්වරයාගෙන් කරුණු විමසා ඔහුට පහර දුන් පුද්ගලයාගේ නිවෙසට ගොස් තිබේ. ඒ මොහොතේ සැකකරු නිවෙසේ කාමරයක කැත්තක්ද සහිතව රැඳී සිට ඇත.

පසුව ස්ථානාධිපතිවරයා සමඟ සිටි නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු කැත්තෙන් නිලධාරීන්ට පහරදී තිබේ. එම පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ඇත. තවදුරටත් සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැත්තෙන් පහරදීමට උත්සාහ කිරීමත් සමඟ එය වැළැක්වීමට නිලධාරීන් කටයුතු කර තිබේ. සැකකරු පහරදීමට ගත් උත්සාහයේදී කැත්තේ මිට කැඩී ගොස් ඇති අතර එවිට ඔහු කාමරයේ සඟවා තිබූ බෝම්බයක් වැනි යමක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට දමා ගැසීමට උත්සාහ කර තිබේ.

  ඒත් සමඟ ස්ථානාධිපතිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා සැකකරු දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත. වෙඩි තැබීමෙන් සැකකාර පුද්ගලයා තුවාල ලබා ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා තිබේ. තුවාල ලත් තිදෙනා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ඇති අතර වෙඩි වැදී තවාල ලැබූ සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු රෝහලේදී මරණයට පත්ව තිබේ.  වයස අවුරුදු 37ක් වන සැකකරු තල්ගස්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට එරෙහිව වයස අවුරුදු 9ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් බළපිටිය මහාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේද තවත් නඩුවක් විභාග වෙමින් පවතී. සැකකරුගේ පහරදීමෙන් තුවාල ලැබූ එක් පොලිස් නිලධාරියකු උරහිසද, අනෙක් නිලධාරියාගේ වම් අතද කැපීගොස් තිබේ. සැකකරු පොලිස් නිලධාරියා සතු යතුරුපැදියටද අලාභහානි සිදුකර ඇත.  

කීර්ති මෙන්ඩිස්,

ඇල්පිටිය – ගයාන් ගුණසේකර, ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්,

ගාල්ල – කමල් විජේහේවා