පාසල් අද පටන් ගත්තත් ප්‍රමාණවත් පෞද්ගලික බස් ධාවනය ගැටලුවක්

0
27

පාසල් විවෘත කෙරෙන අද (25දා) ප්‍රමාණවත් තරම් බස් රථ සංඛ්‍යාවක් ධාවනය සඳහා යෙදවීම ගැටලුවක් බවත් ඒ අනුව පෞද්ගලික බස් රථ 5,000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.

ලංගමට ලබාදෙනු ලබන ඉන්ධනවලින් සියයට පනහක් (50%) පෞද්ගලික බස් රථවලට ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය පොරොන්දු වූ නමුත් එම ප්‍රමාණයන් කිසි විටෙක ප්‍රමාණවත් නොවෙන බවත් ඔහු සඳහන් කළේය. රට පුරා සෑම ප්‍රදේශයකම ලංගම ඩිපෝ නොමැති බැවින් එම ප්‍රදේශවලදී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සුදුසු ක්‍රියාපටිපාටියක් සකස් කර දිය යුතු බවත් එවන් අවස්ථා සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් හෙතෙම කීය.

පොදු ප්‍ර‍වාහනයේ පවතින ගැටලු මඟහරවා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලංගම ඩිපෝ මඟින් ලබා දෙන බවත් සුපුරුදු පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අද දිනයේ සිට ධාවනය කරන බවත් ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවැසීය.

පෞද්ගලික බස් රථ යම් ප්‍රමාණයකින් අඩු වීමක් සිදුවුවත් ලංගම බස් වැඩි සංඛ්‍යාවක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බවත් දුර ගමන් හා කෙටි දුර ධාවන කටයුතුවලත් කිසිදු බිඳවැටීමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන