ධම්මිකගේ අවසන් තීරණය අද

0
58

හිටපු ඇමැති ධම්මික පෙරේරා තම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන්ද ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා සමඟ පුරප්පාඩු මන්ත්‍රි ධුරයට තමන් පත් කරන්නැයි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විශාල පිරිසක් ඉල්ලා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රි ලෙස පත් කරන ලැබුවේ බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටයි. කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (25දා) ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (25දා) ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පවත්වන බවද ඊට පොදුජන පෙරමුණු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ. ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වුවහොත් එම මන්ත්‍රි ධුරයට පත් කිරීමට තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බවට සඳහන් වුවද ඒ පිළිබඳ අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවද පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මන්ත්‍රි ධුරය සඳහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති එස්. අමරසිංහ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවට වාර්තා වුවත් ඊට වඩා වැඩි පිරිසක් එම මන්ත්‍රි ධුරය ලබා දෙන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය