දුම්රිය නියාමකගේ ඝාතනය ගැන විමර්ශන ඇරැඹෙයි

0
16

කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ රාජකාරියේ යෙදෙමින් සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයකුට දුම්රියෙන් පිටතට වීසි වෙන්නට පහරදීම නිසා ඔහු දුම්රියෙන් වීසි වී ගොස් මරණයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  වේයන්ගොඩ පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඉකුත් දින (23දා) අලුයම් කාලයේදී වේයන්ගොඩ පොලිස් වසමේ වඳුරව ප්‍රදේශයේ මෙම පහරදීම සිදුව ඇති අතර දුම්රියෙන් වීසි වී මරණයට පත් දුම්රිය ආරක්ෂක නියාමකවරයාගේ සිරුර වඳුරව දුම්රිය ස්ථානයේ සිට මීරිගම දෙසට මීටර් 100ක  පමණ දුරින් වැටී තිබියදී පොලිසිය සොයාගෙන ඇත. ඒ වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් දුම්රිය මාර්ගයේ දෙපස සෝදිසියට ලක් කිරීමෙන් පසුවය.

මෙම සිදුවීමෙන් මරණයට පත්ව ඇත්තේ ඔරුතොට ඉහළයාගොඩ පාරේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. වේයන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද සෝදිසි කිරීමේදී අනාවරණය වී ඇත්තේ දුම්රිය මැදිරිය තුළ මගීන් දෙදෙනකු මත්පැන් පානය කරමින් ගමන් කරන බවට දුම්රිය ආරක්ෂක අංශයට දුම්රිය මගීන් පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බවය.

එහිදී මත්පැන් පානය කරමින් සිටි මගීන් දෙදෙනා දුම්රිය ආරක්ෂක නියාමකයන් විසින් අල්ලාගෙන දුම්රිය මැදිරියෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී දුම්රිය මැදිරියේ ‍ෙදාරටුව අසලදී ඉන් එක් පුද්ගලයකු ආරක්ෂක නියාමකවරයකුට ධාවනය වන දුම්රියෙන් පිටතට විසි වන ලෙස පාපහරක් එල්ල කර ඇති බවය.

ඒ සමඟම දුම්රිය ආරක්ෂක නියාමකවරයා දුම්රියේ පිටතට විසි වී ගොස් ඇති අතර බීමත් පුද්ගලයන් දෙදෙනා දුම්රියේ ගමන් ගත් මගීන් විසින් අල්ලා ගෙන ඇති බවය.

පසුව දුම්රිය නතර කොට පිටතට විසි වී දුම්රිය ආරක්ෂක නියාමකවරයා වැටුණේ කුමන ප්‍රදේශයට දැඩි සෝදිසි කර ඇති අතර ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ පිටතට වැටී සිටි දුම්රිය ආරක්ෂකවරයාගේ මළසිරුර සොයාගෙන තිබේ.

බීමත් පුද්ගලයන් දෙදෙනා දුම්රිය ආරක්ෂක නියමකවරුන්ට භාරදීමට මගීන් කටයුතු කර ඇති අතර පසුව ඔවුන් වේයන්ගොඩ පොලිසියට භාරදී තිබේ. සැකකරුවන් අවුරුදු 31 සහ 23 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි. ඔවුන් නොච්චියාගම සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. දුම්රිය ආරක්ෂක නියාමකවරයාගේ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

කීර්ති මෙන්ඩිස්