දින අනුව තෙල් ගන්නත් බොරු අංක ගහගෙන ඇවිත්

0
64

හිනිදුම

ගාල්ල – කමල් විජේහේවා

ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණ සිටි යතුරුපැදිකරුවකු තවලම ප්‍රදේශයේදී හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු තවලම හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා යතුරුපැදියෙන් පැමිණ ඇත. එදින ඉන්ධන නිකුත් කරනු ලැබූ අවසාන අංකය මොහුගේ යතුරුපැදියේ අංක තහඩුවේ සටහන්ව නොතිබීම නිසා මේ පිළිබඳ පිරවුම්හලේ සිටි සේවකයන් පොලිසියට දැනුම් දීමෙන් පසු යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී ඔහු පලායෑමට උත්සාහ කොට ඇත. පසුව පොලිසිය විසින් මොහුගේ යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ අංකයක් බවට තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව යතුරුපැදිකරු පොලිස් ඇප මත මුදාහැර යතුරුපැදිය පොලිස් භාරයට ගෙන නඩු පවරන බව පොලිසිය පවසයි.

නොර්වුඩ්

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි

නොර්වුඩ් නගරයේ පිහිටි මස්කෙළිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පෙට්රල් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවකු නොර්වුඩ් පොලිසිය විසින් 23 දින අත්අඩංගුවට ගෙන ඇත.

එම ඉන්ධන පිරවුම්හලට එදින පෙට්රල් ලීටර් 3300ක් නිකුත් කර තිබූ අතර, වාහනයේ අංක තහඩුවේ අවසාන අංක වන 0 සිට 3 දක්වා වාහනවලට සීමා සහිතව නිකුත් කිරීමට එහි කළමනාකාරිත්වය පියවර ගෙන තිබිණි.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු  (27) රැගෙන ආ යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නොර්වුඩ් පොලිසියේ නිලධාරීන් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිරීක්ෂණය කර ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඉන්ධන ලබාගැනීම සඳහා වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් සවිකරගෙන පැමිණ ඇති බවට තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ව්‍යාජ අංක තහඩු ප්‍රදර්ශනය කරමින් යතුරුපැදිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පියවර ගන්නා බව පොලිසිය පැවැසීය.

අනුරාධපුර

අනුරාධපුර – ආනන්ද කරුණාදාස

ව්‍යාජ අංක තහඩු සවි කරගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවකු පෙරේදා (23දා) අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ අදාළ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ පිහිටි ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටියදීය. සැකකරු ඒ ඒ දිනවලට අදාළ අංක ව්‍යාජ ලෙස සකසාගෙන දින කිහිපයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි සැක පළ කරන පොලිසිය එම ඉන්ධන අලෙවි කර ඇද්ද යන්න අනාවරණ කර ගැනීමට විමර්ශන කරයි.

සැකකරු සහ යතුරුපැදිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසන්නේ ඉන්ධන පිරවුම්හලකටම පැමිණෙන වාහන සහ යතුරුපැදිවල අංක සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර විමසිල්ලෙන් පසු වන බවයි.