තෙල් සඟවා වරද පිළිගත් පිරවුම්හලේ කළමනාකරුට අත්හිටුවූ සිරදඬුවම්

0
10

ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5,813ක් සහ පෙට්රල් ලීටර් 1,540ක් සඟවාගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කර තමන් සතුව තිබූ ඉන්ධන අලෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම්හලක කළමනාකාරවරයකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මාස තුනක සිරදඬුවම් නියම කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිරදඬුවම වසර තුනකට අත්හිටුවීමට ඉකුත්දා (22දා) නියෝග කළාය.

අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම්හල් හිමියාට මුදලින් රුපියල් දස දහසක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසටත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියා කරන බවද මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට තරයේ දැන්වීය.

එසේම වර්තමානයේ රටේ පවතින ඉන්ධන අර්බුදය සහ එම ඉන්ධන අර්බුදය හේතුවෙන් මහ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී වටපිටාව සම්බන්ධයෙන් අධිකරණයේ විශේෂ අවධානය යොමු කරමින් තමන් මෙම තීන්දුව ලබාදෙන බවද කීවාය.

මෙසේ වරද පිළිගැනීමෙන් පසුව දඬුවම් නියම වූයේ අනුරාධපුර ගුවන් තොටුපොළ පාර ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකුටය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව සඳහා මෙම ඉන්ධන තොග රඳවා තබාගෙන සිටි බවයි.

කෙසේ වෙතත් වරද පිළිගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට විත්ති පාර්ශ්වය එකඟ බවද නීතිඥවරයා අධිකරණයට කරුණු කීවේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර ජේ‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතා සඳහන් කළේ ඉන්ධන තොග විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව සඳහා රඳවා තබා ගන්නා ලෙසට නියම කිරීමට කිසිදු බාහිර පාර්ශ්වකට නීතිමය අයිතියක් නොමැති බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ජේ‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන සමන් අබේසිංහ, ඩබ්.එම්.පී.කේ. විජේපාල, එස්.ඒ.සී.එම්. යුෂ්රන් සහ එල්.එම්.එස්. නාවිමන යන මහත්වරු මෙම වැටලීමට එක් වූහ.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස