ත්‍රිරෝද රථ දෙකක හප්පා අනතුරක් කළ ගිලන් රථ රියැදුරුට ඇප

0
14

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අයත් ගිලන් රථයක් අධික වේගයෙන් ධාවනය කර රිය අනතුරක් කර පලාගොස් සිටි රියැදුරු හැටන් පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදී. ගිලන් රථයේ රියැදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඉකුත්දා (23දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර යළිත් මෙම නඩුව මෙම 26 දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඇප මත මුදාහරිනු ලැබුවේ බගවන්තලාව මෝරා වතු යායේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ගිලන් රථය නාවලපිටිය ගරාජයක නඩත්තු සඳහා යොමු කර තිබිණි. නඩත්තු කටයුත්ත අවසන් කර එම ගිලන් රථය නැවත බගවන්තලාව දක්වා ධාවනය කරන අවස්ථාවේ ඉකුත් 22 වැනිදා පස්වරු 4.30ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් නගරයට ආසන්නයේදී අනතුර වී තිබිණි. හැටන් දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක ගිලන් රථය හප්පවා ඉදිරියට ධාවනය කළ බව පැවැසේ.

අනතුරෙන් ත්‍රිරෝද රථවලට සහ ගිලන් රථයටද දැඩි අලාභ හානි වී තිබිණි. ගිලන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිටි බව අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හැටන් පොලිසිය පැවැසීය.

ප්‍රථමයෙන්ම ගැටුණු ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනකුද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන් තිදෙනා මේ වන විට දික්ඔය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ප්‍රකාශ වේ.

නොර්වුඩ් – නිටා පත්ම කුමාරි