ටැමිල් යූනියන් ලකුණු සටහනේ පෙරමුණට

0
19

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24දා) පැවැති තරග වලදී ටැමිල් යූනියන්, කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, පොලිස්, එන්.සී.සී., ශ්‍රී  ලංකා නාවික හමුදා, බී.ආර්.සී., ගුවන් හමුදා, රාගම, සී.සී.සී. සහ ශ්‍රී  ලංකා යුද හමුදා කණ්ඩායම් ජය වාර්තා කර ගැනීමට සමත් වූහ.

ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ටැමිල් යූනියන් පිල කෝල්ට්ස් කණ්ඩායම සමඟින් එළැඹෙන 30 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එමෙන්ම ශ්‍රී  ලංකා යුද හමුදාව සහ ඒස් කැපිටල් කණ්ඩායම සමඟින් පළමු අවසන් පූර්ව තරගයද මෙම මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලියට අදාළව ඊයේ පැවැති කෝල්ට්ස් සහ බදුරලිය අතර තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් පිල සමත් වූ අතර සෙබස්තියනයිට්ස් සහ සැරසන්ස් අතර තරගයෙන් ලකුණු 18ක ජයක් සෙබස්තියනයිට්ස් පිලට හිමි විය. එසේම බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන් අතර තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ටැමිල් යූනියන් පිල හිමිකරගත්තේය.

තවද කලුතර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 14ක ජයක් පොලිස් ක්‍රීඩා සමාජයට හිමිවෙද්දී ලන්කන් සී.සී. පිලට එරෙහිව ලකුණු 168ක දැවැන්ත ජයකට උරුමකම් කීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයට හැකි විය. නාවික හමුදාව සහ කුරුණෑගල යූත් පිල අතර තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් නාවික හමුදා පිල සතු විය. නුගේගොඩ ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහින කඩුලු 9ක ජයක් බී.ආර්.සී. පිළ හිමිකරගත් අතර පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණි.

කැන්ඩි කස්ටම්ස් සහ රාගම කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් රාගම ක්‍රීඩා සමාජයට හිමිවූ අතර ගාල්ල සහ සී.සී.සී. අතර තරගයෙන් කඩුලු 9ක ජයක් සී.සී.සී. පිලට හිමි විය. නිගම්බු සහ යුද හමුදාව අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් යුද හමුදා පිලට හිමි විය.  

ගමිත දෙහිපිටිය