ගුරු දෙවිවරුන් යළි හමුවීම

0
78

අද සිට ආයෙත් පාසලේ සීනු හඬ ඇසෙනු ඇත. එහෙත් ඒ සතියට දින තුනක් පමණක් බව කියයි. එය තාවකාලික පියවරක් බවද දැන ගන්නට ඇත. මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පමණක් නොව, සෙසු බොහෝ ක්‍ෂේත්‍රවල කටයුතු සම්බන්ධව අනුගමනය කෙරෙන බොහෝ පියවර තාවකාලික විසඳුම් බව පෙනෙන්නට තිබේ. එහෙත් අධ්‍යාපනයට නම් එවැනි පියවර කිසිසේත්ම උචිත බවක් නොපෙනෙයි. කොහොම වුණත් මුළු සතිය පුරාම පාසල් වසා තබනවාට වඩා අඩු තරමින් දින තුනක් හෝ ඒවා විවෘත කෙරෙන එක නරකම නැත. සතියේ දිනතුනක් පාසලෙහිද ඉදිරි දෙදින මාර්ගගත ක්‍රමයටද අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතු බවට දැනට සැලසුම් කොට ඇති බැව් දැනගන්නට තිබේ.

පුරා දෙවසරකටත් ටිකක් වැඩි කාලයක් මේ රටේ සිසු දරු පරපුරට නිසි පරිදි අධ්‍යාපනයක් ලැබුණේ නැත. විභාග පැවැත්වීම කල්දැමීම, අතපසුවීම් හා තවත් විවිධ දුෂ්කරතා මැද සිදුකළද විෂය නිර්දේශ ආවරණය නිසි පරිදි සිදු නොවූ බවට දසතින් නැඟුණු චෝදනාය. විභාග පැවැත්වීමේදීද අනපේක්ෂිත ගැටලුය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කඩින් කඩ වසා දමමින් කඩින් කඩ විවෘත කරමින් අවිධිමත්ව පවත්වාගෙන ආ පාසල් පද්ධතිය අනපේක්ෂිත ගැටලු රැසකට මැදිවිය.

ගුරු – විදුහල්පති ගැටලුව මත ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දිගින් දිගට ඇදි ඇදී තිබීම හේතුවෙන් කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටි සිසු පරපුරට තවත් ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව නතර කරන තැනට පත්වූයේද දැවැන්ත අධ්‍යාපන අහේනියකට මෙරට දරු පරපුර මුහුණ පාමින් සිටියදීය. විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙස මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවද ඊට අදාළව යටිතල පහසුකම් නිසි ලෙස සැපයීමට ආණ්ඩුව දැක්වූ අසමත්කම හේතුවෙන් එහිද හිතූතරම් සාර්ථකත්වයක් පෙනුණේ නැත.

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව මේ රටේ දරු පරපුරෙන් ජංගම දුරකථනයක් මඟින් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට සහභාගි විය හැකිව සිටියේ 27%ක් තරම් වූ පිරිසකි. එයිනුත් වැඩි පිරිස ගුරු – දෙගුරු අවධානයෙන් බැහැර වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් පරිබාහිර වූ ක්‍රියාකාරකම්වලට නැඹුරුව මානසික සංකූලතාවලට පවා මුහුණ දෙමින් සිටි බව රහසක් නොවේ. ආණ්ඩුව යළිත් සැරසෙන්නේ සතියේ දින දෙකක් තවමත් නිසි ලෙස පශ්චාත් සමාලෝචනයකට ලක් කොට නොමැති විකල්ප අධ්‍යාපන ප්‍රවේශයකට සිසු පරපුර යොමු කිරීමට විය යුතුය. මීට පෙර අවස්ථා  කිහිපයකම අප කතුවැකිය මඟින් හා සංවාදාත්මක ලිපි ලේඛන මඟින් පෙන්වා දුන්නේ මාර්ගගත අධ්‍යාපනය යහපත් ප්‍රවේශයක් වුවත් තවමත් මේ රටේ ඒ සඳහා නිසි පහසුකම් සැකසී නැති බවය. අප රටේ ගුරු පරපුරට ගුරු පුහුණුව ලබාදෙන ආයතන මඟින් වුවද තවමත් හුරු පුරුද්ද ඇති කරනුයේ පන්ති කාමර ඉගැන්වීම සම්බන්ධවය.

පාසල් ගමන සතියට දින තුනකට සීමා කොට තිබෙන්නේ ඉන්ධන අර්බුදය නිසා බව පැහැදිලිය. එහෙත් දරුවන්ගේ පාසල් ගමන සීමා කිරීමෙන් ඉන්ධන අර්බුදය විස¼දාගත හැකිද? එසේ විසඳුනි නම් පාසල් නිවාඩු කාලය තුළ සැලකිය යුතු ඉන්ධන සංචිතයක් ගැන අපේක්ෂා තබා ගත හැකිව තිබුණා නොවේද? මෙරට මවුපියන් වැඩි දෙනෙක් තම දූ දරුවන් පාසල් නොයා සිටින දිනවල අමතර ගමන් බිමන්වල යෙදෙන අවස්ථා වැඩි වී තිබෙන බවද තෙල් පෝලිම්වලින්ම පැහැදිලිය. මෙවැනි අදූරදර්ශී තීරණවලින් සිදුවන්නේ ඉන්ධන අර්බුදය මදිවාට අධ්‍යාපන අර්බුදයද තවදුරටත් බරපතළ තත්ත්වයකට පත්වීමය.

කළ යුත්තේ පාසල් පවත්වන දිනවල පොදු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් කිරීමය. අඩු තරමින් දුම්රිය සේවය හා ගමනාගමන මණ්ඩලයට අයත් සීමිත බස් රථ ප්‍රමාණය හෝ විශේෂිත කාල සටහන් අනුව විධිමත්ව පාසල් සිසු, ගුරු ප්‍රවාහනයට සූදානම් කිරීමය. පාසල් වෑන් රථ සේවය සඳහා සැලකිය යුතු මට්ටමින් සහන ලබාදී එම සේවාව තවදුරටත් පුළුල් කිරීමය. මෙබඳු පියවර මඟින් ආණ්ඩුවට ආදායම් නොලැබෙන්නට පුළුවන. එහෙත් රටක සංවර්ධනයේ ප්‍රමුඛ සාධකය වන අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන කැපවීම කිසිසේත්ම හුදු ධනෝපායන කාර්යයක් විය යුතු නැත.

ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමේදී මණ්ඩලයේ බස් රථවලට අමතරව ඉන්ධන සැපයීම, පාසල් සිසු ප්‍රවාහනය ඉලක්ක කොට කොන්දේසි සහිතව සිදු කළ හැකි නම් එමඟින් පවතින ගැටලු යම් ප්‍රමාණයකට විස¼දාගත හැකිවනු ඇත.

පසුගිය කාලය තුළ අඩාලව ගිය ‘සිසු සැරිය’ වැනි ‘විශේෂ සහන සේවා’ පිළිබඳ බලධරයන්ගේ දැඩි අවධානය යොමු විය යුතුය.

‘විපත්ති ආතී හෛතෝ ආක්ල මාරී ජාතී හෛ’ යනුවෙන් හින්දි කියමනකි. විපත් කරදර එන්නේ බුරුතු පිටින්ය යනු එහි අදහසය. අප රටේද අප අත් විඳිමින් සිටින්නේ එවැනි තත්ත්වයකි. මුලින්ම පාසල් ගමන ඇනහිටියේ කොවිඩ් වසංගතය නිසාය. පසුව ගුරු හටන්ය. දැන් ඉන්ධන ගැටලුවය. තවත් ගැටලුවක් පෙරමඟය. ඒ ඩෙංගු වසංගතයයි. මෙම වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 44,000ක් තරම් වූ පිරිසක් වාර්තා වී ඇති බවත් මෙම ජූලි මාසයේ පමණක් වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,000ක් පමණ වන බවත් සඳහන්ය. මේ තත්ත්වය යහපත් නැත. අද දවස ඩෙංගු මැ¾ඩීම අරමුණු කොටගත් විශේෂ පරිසර පවිත්‍රතා දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කොට තිබේ. පාසල් පටන් ගැනීමේදී මේ සම්බන්ධවද දැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ.

අධ්‍යාපනය, මිනිසා මුහුණ දෙන විවිධ වූ අභියෝග හමුවේ නොසැලී ඍජුව නැඟී සිටීමට ඔහු ශක්තිමත් කරවන ප්‍රමුඛතම සාධකයයි. එම නිසාම රටේ පවතින වෙනත් ගැටලු, අර්බුද පෙරමුණෙහි තබා මෙරට දරු පරපුරට ඉගෙනීම අහිමි කරවන තැනට කටයුතු නොකළ යුතුය. රටට අවශ්‍ය බුද්ධිමය සම්පත නිසි ලෙස ගොඩනැංවීම කෙරෙහි බලධරයන්ගේ නිරතුරු අවධානය යොමු විය යුතුව ඇත.