ක්‍රීඩක – ක්‍රීඩිකාවන්ට මානසික නිදහස දීම ක්‍රීඩා සංගම් සම්මේලනවල වගකීමක්

0
39

රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳ මානසික නිදහසකින් යුක්තව තරගාවලි සඳහා ඉදිරිපත් කරවීම ක්‍රීඩා සංගම් හා සම්මේලනවල වගකීමක් යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ගැටලු කල් වේලා ඇතිව හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ඇමැති රොෂාන් රණසිංහ කීය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කිරීමට පසුගියදා (22දා) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 

මෙරට ආර්ථිකමය වශයෙන් විශාල කඩා වැටීමකට ලක් වෙලා තිබෙන මෙවැනි මොහොතක වුවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉෂ්ට කිරීමට ඔවුන් උපරිම වශයෙන් කැපවී සිටින බවද ඇමැතිවරයා පවසා ඇත.

ආණ්ඩුවක් ලෙස මේ මොහොතේ ගැටලු හා අභියෝග රැසකට මුහුණ දුන්නද වසරකට දෙකකට පෙර ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලබාදෙන මූල්‍යමය දායකත්වය උපරිමයෙන් ලබා දී තිබෙන බවත් ජාතික ක්‍රීඩා අරමුදල හැකි උපරිමයෙන් ක්‍රීඩාව සඳහා දායක කරගෙන එයින් කළ යුතු කාර්යයන් ඉටු කර තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු සංගමය වෙත හෝ පුහුණුකරුවන් වෙත ඉදිරිපත් කිරීමෙන් විස¼දා ගත හැකි බවත් එසේත් නැතිනම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ ලේකම්, විෂය භාර ඇමැතිවරයා වෙත හෝ ඉදිරිපත් කිරීමේ හැකියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබෙන බවත් රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳ මානසික නිදහසකින් යුක්තව තරගාවලි සඳහා ඉදිරිපත් කරවීම ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්ට ඇති වගකීමක් වන බවද ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න, අමාත්‍යතුමාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර  යන මහත්වරු සහභාගි වූහ.

සඳුනි ගමාරච්චි