ඒකාබද්ධ මෙහෙයුම කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමටයි

0
145

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්වන ලෙසට පොලිසිය දිගින් දිගටම කළ ඉල්ලීම් අරගලකරුවන් නොතකා හැරීම නිසා ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් මඟින් එය මුදාගැනීමට රජයට සිදු වී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පෙරේදා (23දා) පැවැසීය.

මුල් අවස්ථාවලදී සාමකාමීව දියත් වූ අරගලය හමුවේ පොලිසිය නම්‍යශීලීව කටයුතු කළ නමුත් පසුකාලීනව ඔවුන් නීතිය හා සාමය නොතකමින් අවේගශීලීව කටයුතු කළේ යැයි තල්දූව මහතා චෝදනා කළේය.

නව විධායක ජනාධිපතිවරයකු පත් වූ පසු ඔහුගේ කාර්ය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමට තමන්ට වගකීමක් ඇතැයි කී හෙතෙම එම ස්ථානයෙන් ඉවත් වන බවට විවිධ දින වකවානු ප්‍රකාශ කළ අරගලකරුවන්ගේ වචන  විශ්වාස කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී යැයි පැවැසීය.

එම නිසා ආරක්ෂක හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ යැයිද එමඟින් සිදුවූයේ නීති විරෝධී රැස්වීමක නිරතව සිටි පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම යැයිද තල්දූව මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේද කීය.

සමාජය තුළ පසුගිය කාල සීමාවේ ඉන්ධන හා ගෑස්වල විශාල අර්බුදයක් තිබුණා. මේ හරහා විදුලිය ලබාදීමේදී ගැටලු මතු වුණා. මේ තත්ත්වයන් තුළ සමාජයේ ජීවත් වන මහජනතාව තුළ යම් යම් අසහනකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. මේ සෑම කාරණයක් සඳහාම පොලිසිය පසුගිය මාස කිහිපයේදීම මැදිහත් වුණා. මොකද සෑම කාරණයකදීම නීතිය හා සාමය රැකීම පොලිසියට හිමි වෙනවා. ඒ නිසා පොලිසිය ඒ සඳහා නිරන්තරයෙන් මැදිහත් වෙනවා.

සමාජයේ ඇති වෙච්ච මේ අසහනකාරී තත්ත්වය තුළ විවිධ ප්‍රදේශවල විරෝධතා ඇති වුණා. මෙම විරෝධතා මැඬපැවැත්වීම සඳහා පොලිසිය මැදිහත් වුණා. නමුත් මහජනතාව පත්වෙලා තියෙන තත්ත්වය තේරුම් අරගෙන පොලිසිය ඉතා නම්‍යශීලීව මේ සඳහා මැදිහත් වුණා. මේ අවස්ථාවන්වලදී පොලිස් නිලධාරීන්ට විවිධ අවස්ථාවන්වලදී පරිභව කළා, පරුෂ වචනයෙන් බැන වැදුණා, සමහර වෙලාවල්වල පහරදීම් සිදු වුණා. පොලිසිය නම්‍යශීලී වුණේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැරි නිසා නෙමෙයි. එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අපහසුතාවට පත්වූ මහජනතාව තවත් අපහසුතාවට පත් කිරීමට අකැමැති නිසා.

මැයි 9 වන විට දිවයින පුරාම විරෝධතා උත්සන්න වීම නිසා ප්‍රචණ්ඩකාරී හා කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. සමා‌ජයේ කුමන තත්ත්වයක් තිබුණත් ඒ දවස පුරාම මේ සිදුවීම් සම්බන්ධයෙන් 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට අරන් තිබෙනවා. 2,000කට අධික පිරිසකට ඇප ලැබී තිබෙනවා. මෙම සිදුවීම් සම්බන්ධව දැනටමත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා.

කෙසේ වෙතත් පසුකාලීනව සාමකාමී අරගලයට කිසිදු බධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව ලබාදීමේදී පොලිස් නිලධාරීන්ට අරගලකරුවන් බාධාකරමින් ඔවුන්ව අපහසුතාවට පත්වෙන අයුරින් හැසිරීම තුළින් සමාජයේ නීතිය ක්‍රියාත්මක කිරීමට විශාල බධාවක් ඇති වී තිබෙනවා. 

පසුගිය දින කිහිපයේදී අධිකරණ නියෝගයක් දුන්නා. හිටපු ආග්‍රාමාත්‍යවරයෙක් වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක පිළිරුවට හානියක් සිදු කිරීමට නියමිත බව තොරතුරක් ලැබුණා. ඒ අනුව අධිකරණ නියෝගයක් මේ සඳහා ගනු ලැබූ බවත් මෙම පිළිරුවේ සිට මිටර් 50ක වපසරියෙන් පුද්ගලයන්ට ඇතුල්වීමට නොහැකි වන ලෙස එම පිළිරුව ආරක්ෂා කිරීමට අධිකරණය මඟින් ලැබුණු නියෝගය රැගෙන පොලිසිය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණේ. නමුත් ඇතැමුන් අධිකරණ නියෝගයට ගරු නොකරමින් කටයුතු කළහ. එම නියෝගය ලබා දෙන්නට හෝ අවස්ථාවක් ලබා දුන්නේ නෑ.

සාමාන්‍ය සමාජය තුළ ගමකට යන්න, නිවෙසකට යන්න, ඒවා පරීක්ෂා කරන්න, අධිකරණ නියෝගයක් භාර දෙන්න පොලිසියට අවස්ථාවක් තිබෙනවා. නමුත් නීතිය සහ රටේ යම් කිසි නිවැරදි ක්‍රමවේදයක් ඉල්ලා විරෝධතා දක්වන පිරිස අධිකරණ නියෝගයකටවත් අවනත නොවී කටයුතු කිරීම ගැන දෙසැරයක් හිතන්නට සිද්ධ වෙනවා.

මෙවැනි අවස්ථාවන් ගණනාවක් නිරීක්ෂණය වුණා. මේ තත්ත්වය උඩ සාමාන්‍ය නීතිය යටතේ අපි පුද්ගලයකුට රටේ උත්තරීතර නීතියෙන් හිමිවෙලා තියෙන භාෂණයේ නිදහස හා සමාගමේ නිදහස භුක්ති විඳින්නට ඔහුට තියෙන අයිතිය පිළිගන්නා අතර එයට ගරු කරමින් එවැනි ජාත්‍යන්තර නීතියක් තිබේ නම් ඒවාටද ගරු කරමින් පොලිසිය තම රාජකාරිවල යෙදුණා.

ඉතින් අපි නිරන්තරයෙන්ම කිව්වා ප්‍රචණ්ඩකාරී හා කලහාකාරීභාවයට යොමු වන්නට එපා. ඔබගේ විරෝධතාවන් සාමකාමීව දක්වන්න පොලිසියෙන් අරගලකරුවන්ට දන්වා තිබුණා.  මුල් අවස්ථාවලදී විරෝධතාකරුවන් සාමකාමීව කටයුතු කර තිබුණත් පසුකාලීනව සාමකාමීභාවය වෙනස්කර ගනිමින් යම් යම් වෙනස්වීම් පොලිසියට නිරීක්ෂණය වුණා.

ඒ වගේම තමයි පසුගිය ජූලි නව වැනිදා කොළඹටම විශාල පිරිසක් පැමිණීමත් සමඟ ඔවුන් විසින් කොළඹ පිහිටි රජයේ ප්‍රධාන ගොඩනැඟිලි අත්පත් කර ගැනීම සිදුකළා. එලෙස අත්පත් කරගත් ගොඩනැඟිලි ඔවුන් විසින්ම තීරණයකට එළැඹ දින කිහිපයකින් නිදහස් කරනු ලැබූ අතර පොලිසිය විසින් කිසිදු බාධාවක් සිදුකළේද නැත.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය දින කිහිපයකින් නිදහස් කරනු ලැබුවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ‍ෙදාරටුව විරෝධතාකරුවන් විසින් අවහිර කරගෙන තිබුණා. මේ සම්බන්ධව කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අවස්ථා නවයකදී මෙම ප්‍රධාන ‍ෙදාරටුව විවෘත කරන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිය නමුත් ඔවුන් එයට සවන් දීමක් කළේ නැහැ.

පසුව ජූලි නම වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ පිරිස් සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ ප්‍රදේශය භාරව ඉන්න  ජේ‍යෂ්ඨතම නිලධාරිවරයාගේ සහකාර පොලිස් අධිකාරිවරයා, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය 14 හා 18 වැනිදා යන අවස්ථා දෙකකදීම ඉල්ලීම් කරනු ලැබුවා මෙම කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා. නමුත් ඔවුන් දැඩි ආවේගශීලී ප්‍රතිචාර දැක් වූ අතර එයින් ඉවත්වීමට එකඟතාවක් දැක්වූයේ නැහැ. ඒ අනුව ඔවුන් මෙම ස්ථානයෙන් ඉවත් වේවිද නැතිද යන්න පිළිබඳව අවිශ්වාසයක් මතු වුණා.

ඒ වගේම පාර්ලිමේන්තුව තුළින් නීත්‍යනුකූලව 8 වැනි විධායක ජනාධිපතිවරයකු ලෙස නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයාට තමාගේ කාර්යාල කටයුතු සිදු කර ගැනීමට කාර්යාල පද්ධතියක් නොමැති වූ අතර එතුමා දිවුරුම් දෙනු ලැබුවේද පාර්ලිමේන්තුව තුළයි. මන්දයත් ජනාධිපති ලේකම් කාර්යාල, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ මේ කටයුතු ආරම්භ කිරීමට ඒ වන විටත් අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලය පමණයි ඉතුරු වී තිබුණේ. ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ප්‍රධාන කාර්යාලය පද්ධතියක්. විධායක ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ එම ස්ථානය ජනාධිපතිවරයාගේ කාර්යයන් සඳහා නිදහස් කර ගැනීමේ වගකීමක් පැවැරී තිබෙනවා. ඉදිරි දිනයන්වලදී ඔවුන් ඉවත් වන බවට විවිධ දින වකවානු සඳහන් කරනු ලැබුවත් ඒ සම්බන්ධව විශ්වාසය තැබීමට බැරි තත්ත්වයක් උදා වී තිබුණා. ඒ නිසා තමයි ශ්‍රී  ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මෙම නීති විරෝධී රැස්වීමක සිටි සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ.

ඇත්තටම රජයේ දේපළක් තුළට බලහත්කාරයෙන් ඇතුළු වී එම ස්ථානයේ රැඳී සිටීමට හැකියාවක් නොමැති අතර මොකද ඔවුන්ට විරෝධතාව දැක්වීමට ගාලුමුව‍ෙදාර පිටියේ සම්පූර්ණයෙන්ම අවස්ථාව ලබාදී තිබුණා. නමුත් ඔවුන් එහෙම තිබියදීත් කාර්යාල පද්ධතිය නිදහස් නොකර තවදුරටත් ඔවුන් භාරයේ තබා ගැනීම නිසා  අපට සිදුවුණා බලය පාවිච්චි කිරීමෙන් මෙම කාර්යාලය මුදා ගැනීමට කටයුතු කරන්නට.

ඒ අනුව සිකුරාදා (22දා) අලුයම් කාලයේදී මෙම කාර්යාලයේ රැඳී සිටි විරෝධතාකරුවන් පිටතට යවා ගැනීම සඳහා එය අවට තිබෙන තාවකාලික කූඩාරම් කිහිපයක් ඉවත් කිරීමට සිදුවුණා.  කූඩාරම් තවදුරටත් පවතිනවා. අපි එයට හානියක් කරේ නෑ. බාධාවක් කරේ නෑ. මේ වන විට එම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ඇතුළු ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන්  පරීක්ෂා කරමින් පවතිනවා. ඒ පිළිබඳව තක්සේරු වාර්තාව ලබාගෙන අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට යම් කිසි කාලයක් ගත වෙන අතර එම පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව නැවතත් සුපුරුදු පරිදි මෙම කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමට හැකියාවක් තිබෙනවා.

පොලිස් නිලධාරියා කටයුතු කරනු ලබන්නේ පවතින නීතිමය රාමුව තුළයි. පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවන්ද මෙම නීතිමය රාමුව තුළ තමන්ට නීතියෙන් පැවැරී තිබෙන වගකීම ඉටු කිරීමට බැඳී සිටිනවා.

ආරක්ෂක හමුදාවන්ට සාමාන්‍ය නීතිය යටතේදීත් නීති විරෝධී රැස්වීමක් පිළිබඳව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය තුළින් බලය හිමිවන අතර ඊට අමතරව මහජන ආරක්ෂක පනත යටතේ ඔවුන්ට බලය පැවැරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා.

ඒ විතරක් නෙමේ මේ වෙන විට හදිසි නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වෙලා තියෙනවා. දැන් හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන අවස්ථාවකදී තමයි සිකුරාදා දිනයේදී නීති විරෝධීව රැස්වෙලා සිටි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ඉවත් කරන්නට කටයුතු කරන්නේ. ඔවුන් ඉවත් කරන්නට හෝ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිම අවස්ථාවක හදිසි නීතිය භාවිත නොකළ අතර ඒ සඳහා සාමාන්‍ය නීතිය භාවිත කළේ නෑ.

සමාජය තුළ නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් නොහැකි වුවහොත් එය මුළු සමාජයටම බලපාන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණොත් සාමය පවත්වාගෙන යෑමට බාධාවක් වෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට බාධාවක් වෙනවා. අවසානයේ නිර්මාණය වන්නේ සමාජයේ ජීවත්වන පිරිස් සඳහා තවත් ප්‍රශ්නවලට මුහුණ දීම පමණයි. ඒ තුළ සමාජ ආර්ථික තත්ත්වය කඩාවැටෙන්නට පුළුවන්. එහිදී අපි ආයතනයක් විධියට, පොලිස් නිලධාරීන් විදිහට එහි ‍ෙදා්ෂාරෝපණ ලබා ගන්නට කැමැති නෑ. එම නිසා පොලිසියට ක්‍රියා කිරීමට නීත්‍යනුකූලව ලැබී ඇති වගකීම ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් තීරණය කරලා තියෙනවා.

යම්කිසි පුද්ගලයකුට මේ රටේ තියෙන උත්තරීතර නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී තිබෙන  අයිතිවාසිකම් භුක්ති විඳීම, සාමකාමීව රැස්වීම, සාමකාමීව විරෝධතා දැක්වීම තවදුරටත් සිදු කළ හැකියි. සමහර වෙලාවට විරෝධතා දක්වන ස්ථානය වෙනස් වීම උදාහරණයක් ගාලුමුව‍ෙදාර විරෝධතා දැක්වීම සඳහා පවතින ස්ථානයේ ඉඩකඩ සීමිත වීම හා ප්‍රමාණය ඉක්මවා යෑමක් නිරීක්ෂණය වීමට හැකි නිසා රජය විසින් වෙන ස්ථානයක් හෝ ලබාදීමේ හැකියාවක් පවතිනවා. එවැනි ස්ථානයකට වුණත් තමන්ට නීත්‍යානුකූලව විරෝධතාව දැක්වීමට අවස්ථාව ලබා දෙනවා.

ඒ අතරත් සාමකාමීව විරෝධතා දැක්වීමට පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති නමුත් යම් කිසි පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී විදිහට කලහකාරී විදිහට නීතිය හෑල්ලුවට පත් කරවමින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හෑල්ලුවට පත් කරමින් ඒ වගේම ත්‍රිවිධ හමුදාව ආරක්ෂක නිලධාරීන් තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් කටයුතු කර, සමස්ත සමාජයේ නීතිය හා සාමය රැකීමට බාධා වෙනවා නම්, බාධා කරනවා නම් අපට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට  සිද්ධ වෙනවා. මොන තත්ත්වයෙන් හෝ මේ රටේ තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි කටයුතු කළ යුතු වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඒ නීති රීතිවලට අනුව කටයුතු කළ යුතුයි. පොලිසිය ඒ සඳහා බැඳිලා සිටිනවා වගේම රටේ ජනතාවත් ඒ සඳහා බැඳී සිටිනවා. අපි ඉටු කරන්නේ මේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. කිසිම කෙනකුට නීතිය හෑල්ලුවට පත් කිරීමට කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. ඉතින් ඒකෙන් අපි අවධාරණය කළ යුතුයි.

පොලිස් මූලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට නීතිය හා සාමාන්‍ය නීතිය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරමින් මෙසේ පැවැසීය.

මහජන ආරක්ෂක පනත යටතේ දැනට හදිසි නීතිය ලංකාව තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවලදී එහි පස්වන වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථා නියෝග සකස් කිරීමක් සකස් කරලා තියෙනවා.

හදිසි අවස්ථා නියෝග මූලික වශයෙන්ම ස්ථාපිත කර තිබෙන්නේ මහජන ආරක්ෂක පනත යටතේ එහි 5 වගන්තිය යටතේ තිබෙන නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව තමයි සකස් කරලා තියෙන්නේ.

මෙම පස් වැනි වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථා රෙගුලාසි 2022 අංක 1 දරන හදිසි අවස්ථා රෙගුලාසි නියෝගය යන ලුහුඬු නාමයෙන් දැනට ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. වර්තමානයේ නෛතිකව බලාත්මක ක්‍රියාත්මක වෙනවා. එය අංක 2289/7 2022  ජූලි 18 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් දැනටත් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

මෙම හදිසි නීතිය යටතේ කරුණු කිහිපයක් ඔබ දැනගත යුතුයි.

මෙම හදිසි නීතිය කොටස් 7කින් යුක්තව පත් කර තිබෙනවා. ඒ කොටස් 7 තුළ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට විශේෂ වූ බලතල හා අනන්‍ය වූ බලතල සාමාන්‍ය නීතියෙන් ඔබ්බට බලතලවලට පැවැරීමක් කරල තියෙනවා.

සාමාන්‍ය කොටස යටතේ හදිසි නීතිය පැනවීමේ මූලික අරමුණ වූයේ අත්‍යවශ්‍ය  සේවාවන් එපරිද්දෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක කර ගැනීමේ අවශ්‍යතාවයි.

මිතුන් ජයවර්ධන