එක්කෝටි හැට ලක්‍ෂයක කුඩු සමඟ අත්තිඩියේ යුවළක් අත්අඩංගුවට

0
11

රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වටිනා හෙරොයින් සමඟ අඹුසැමි යුවළක් අත්තිඩිය ප්‍රදේශයේදී ඊයේ (24දා) අලුයම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවකු ලෙසට සේවයේ නියැළෙන්නෙකි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අපරාධ දූෂණ මර්දන රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර හෙරොයින් ග්‍රෑම් 858ක් සමඟ මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකාර සැමියා සහ 35 හැවිරිදි බිරිය දැනට බූස්ස රැඳවුම් කඳවුරේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා යන අයගේ රුසියාවේ පදිංචි වී සිටින අනියම් බිරිය සමඟ ජංගම දුරකථනය ඔස්සේ ජාවාරමේ යෙදී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චානක, පොලිස් සැරයන්වරුන් වන ජයවර්ධන (8397), අජිත් (53810), පොලිස් කොස්තාපල්වරුන් වන වීරසිංහ (85557), විතාරණ (90027) යන නිලධාරි කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ගල්කිස්ස – ජානක ගෝමස්